(UPDATE) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට නිල වශයෙන් තීරණය කර අැතැයි වාර්තා ෙවයි. ඊයේ රාත්‍රිෙය් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉදිරිපෙළ නායකයන් සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට පැමිණ තිබේ. අද (19දා) දිනයේදී එම තීරණය ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායමට දැනුම් දීමෙන් පසුව නිල වශයෙන් කථානායකවරයාට දැනුම් දීමටද තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුවේදී අද (19දා) පැවැත්වෙන කණ්ඩායම් රැස්වීමේදී ශ්රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම ස්ථිර වුවහොත් නව අගමැතිවරයෙකු පත් කරගන්නා ආකාරය සම්බන්ධව ජනාධිපතිවරයා අද දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට යොමුවනු ඇතැයිද වාර්තා වෙයි.
ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡාව සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයාට යහපාලන රජය සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය දැනුම් දෙමින් අවධාරණය කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාවක් නොමැතිනම් ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම යෝග්‍ය බවයි.
එජාපයේ මතය
කෙසේ වුවද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී හමු වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
අග්‍රාමාත්‍ය ධුරය තවදුරටත් එජාපය විසින් දරනු ලබන බවත්, අනිද්දා (21දා) දිනයේදී කැබිනට් සංශෝධනයක් කිරීමට බලාපොරොත්තු වන බවත් එක්සත් ජාතික පක්ෂය ඊයේ (18දා) රාත්‍රියේ ජනාධිපතිවරයාට දැනුම් දුන්නේය.
ඊයේ රාත්‍රියේ අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය, ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් විසින් ජනාධිපතිවරයා හමු වී මෙම තීරණය දැනුම් දී තිබේ.
අද (19දා) පාර්ලිමේන්තුව රැස්වෙන අතර එහිදී තම බලය පෙන්වීමට දෙපාර්ශ්වයම සූදානමින් සිටින බවද 'අද'ට වාර්තා වෙයි. ජනාධිපතිවරයාගේ සාකච්ඡාවේදී රටේ මතුව තිබෙන අරාජික තත්ත්වය පිළිබඳ එ.ජා.ප. නායකයන් කරුණු පෙන්වා තිබෙන අතර, යහපාලන ප්‍රතිපත්ති අනුව ඉදිරි වසර දෙක පාලනය කළ යුතු බවද ඔවුන්ගේ අදහස වී තිබේ.
එහිදී අගමැතිවරයා දන්වා ඇත්තේ ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථක බවත්, ඇමතිවරුන් අමාත්‍යාංශවලට ගොස් සුපුරුදු පරිදි වැඩකටයුතු කළ යුතු බවත්ය. එහෙත් කැබිනට් සංශෝධනයක් අනිවාර්යයෙන්ම සිදුවන බවද අගමැතිවරයා විසින් ඇමතිවරුන්ට පවසා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් හා ජනපතිවයා අතර හමුවක් අද දිනයේදීද ජනපති නිල නිවසේදී පැවැති අතර එහිදි නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සිය තීරණය ජනපතිවරයාට දන්වා ඇති බව වාර්තා වෙයි. මේ අතර නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටීමටත් ජනපතිවරයා තීරණය කර ඇති බවද වාර්තා වෙයි.
ඒකාබද්ධයේ ස්ථාවරය
ඊයේ දිනය පුරා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවැති සාකච්ඡා අවසානයේ තීරණය කර ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හැර වෙනත් කිසිදු අයෙකුට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට තමන් සහයෝගය පළ නොකරන බවයි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමටද ඔවුහු කටයුතු කළහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් බිහිවන්නේනම් එහි අමාත්‍ය ධුර භාර නොගැනීමේ තීරණයේ තමන් තවදුරටත් සිටන බව ඔවුහු දැන්වූහ.
පාර්ලිමේන්තුව අද රැස්වෙයිද? කල් තබයිද?
එසේම පෙර තීරණය කර තිබූ පරිදි පාර්ලිමේන්තුව අද රැස්වීමට නිමිතය. උදෑසන 10.30ට පාර්ලිමේන්තුවේ කටයුතු ඇරඹීමට පෙර සාම්ප්‍රදායිකව පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන අතර, එහිදී උද්ගතව ඇති තත්ත්වය ගැන සාකච්ඡා කෙරෙනු ඇතැයි විශ්වාස කෙරේ. පවතින තත්ත්වය අනුව අද දිනයේ පාර්ලිමේන්තුව නොපවත්වා පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායකවරයා කටයුතු කිරීමට ඉඩ ඇතැයිද ඇතැම් මන්ත්‍රීවරු විශ්වාස කරති. අග්‍රාමාත්‍ය ධුරය සඳහා ඇති ගැටුම නිසා අද පාර්ලිමේන්තුව රැස් වුවහොත් උණුසුම් තත්ත්වයක් මතු වීමට ඉඩ ඇතැයිද විශ්වාස කෙරේ.
ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (19දා) පෙරවරු 8.30ට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය.එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුද රැස්වීමට නියමිතය.
සිරිකොත රැස්වීමේදී රනිල් විරෝධයක්
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරී රැස්වීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (18දා) දහවල් පැවැති අතර, එම අවස්ථාව දැඩි උණුසුම්කාරී ස්වභාවයක් ගත් බවද වාර්තා වේ.රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ රැඳී සිටීම සම්බන්ධව විරෝධයක් නැති බවත්, සති දෙකක් ඇතුළත පක්ෂයේ ඉහළ සිට ප්රතිසංවිධාන කටයුතු සිදුවිය යුතු බවත් දැක්වෙන ලිපියකට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමෙන් අත්සන් ලබාගැනීමට උත්සාහ කර තිබුණු අතර, ඇතැම් මන්ත්‍රීවරුන් එම ලිපියට අත්සන් කර නැතැයිද වාර්තා විය.
පසුගිය මැතිවරණය පරාජයට පත්වීම සඳහා පක්ෂ නායකත්වය වගකීම බාරගත යුතු බවට මෙම අවස්ථාවට සහභාගි වූ මන්ත්‍රීවරුන් පවසා තිබෙන අතර, අගමැතිවරයා ආරක්ෂා කිරීම සඳහා තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරිපත් වී තිබිණි.
පක්ෂ නායකත්වය වෙනස් විය යුතුය යන ස්ථාවාරයේ සිටින මන්ත්‍රීවරුන් විසින් රනිල් වික්‍රමසිංහ මහතාට මෙහිදී විරෝධය පළ කර තිබෙන අතර, පසුපෙළ මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ රැඳී සිටියදී පක්ෂයේ වෙනස්කම් කළ යුතු බවයි.කෙසේ වෙතත් මෙම රැස්වීම අවසන් වී තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ සහ අගමැති ධුරයේ ඉදිරියටත් තබාගත යුතු බවට වැඩි දෙනා තීන්දු කරමිනි.
මෙම රැස්වීමට සුජීව සේනසිංහ හා බුද්ධික පතිරණ යන මහත්වරුන් සහභාගි වී නොතිබුණු අතර, එක්සත් ජාතික පෙරමුණේ සුළු පක්ෂ නියෝජිතයන් පෙන්වා දී තිබුණේ ප්‍රථමයෙන් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස රඳවාගෙන තම සහයෝගය ලබාගැනීමට කටයුතු කරන ලෙසයි.මේ අතර දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළේ ජනවාරි 08 වැනිදා ඉදිරිපත් කළ දූෂණයට විරුද්ධ යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන පාර්ශ්වයකට තම පක්ෂයේ සහාය ලබාදෙන බවයි.මේ දක්වා කිසිදු පාර්ශ්වයක් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තම පක්ෂයෙන් සහාය ඉල්ලා නැතැයිද මන්ත්‍රීවරයා කීවේය.
සති අන්තයේත් සාකච්ඡා
නව අගමැතිවරයෙකු යටතේ නව ආණ්ඩුවක් පත් කරගැනීම පිළිබඳ සහ ඉකුත් දින කිහිපය පුරා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතරේ සාකච්ඡා වට ගණනාවක් පැවැත්විණි.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම එජාප තනි ආණ්ඩුවක් පිහිටුවීමටද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ පාර්ශ්ව විසින් එජනිස ආණ්ඩුවක් පිහිටුවීමටද වෙන වෙනම මෙම සාකච්ඡා සිදු කළේය.
අගමැති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් නිර්මාණය කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයක් සිදු කළහොත් පමණක් එයට සහාය පළ කරන බවට ඒකාබද්ධ විපක්ෂය දන්වා තිබිණි.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශ්වය සහ ඒකාබද්ධ විපක්ෂය අතර ජනාධිපති නිල නිවස, ජනාධිපති ලේකම් කාර්යාලය, හිටපු ජනාධිපතිවරයාගේ නිවස, සුසිල් ප්‍රේම්ජයන්ත ඇමතිවරයාගේ නිවස, එස්.බී. දිසානායක ඇමතිවරයාගේ නිවස, තිලංග සුමතිපාල මහතාගේ නිවස ඇතුළු ස්ථාන ගණනාවකදී සාකච්ඡා පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් නිර්මාණය කරගැනීම සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානය, අරලියගහ මන්දිරය, මලික් සමරවික්‍රම ඇමතිවරයාගේ නිවස, කබීර් හෂීම් ඇමතිවරයාගේ නිවස ඇතුළු ස්ථාන ගණනාවකදී සාකච්ඡා සිදු විය.