එච්.අයි.වී. ආසාදිත බවට ගම්වාසීන් සැකකිරීම හේතුවෙන් කුලියාපිටිය, බෝහන්දිය සම්බෝධි ප්‍රාථමික විදුහලට ඇතුළත් කිරීමට නොහැකි වූ දරුවාට තවමත් පාසලක් ලබාදීමට බලධාරීන් අපොහොසත් වී තිබේ.අදාළ දරුවාට එච්.අයි.වී. ආසාදිත වී නොමැති බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ වෛද්‍යවරුන් විසින් තහවුරු කර තිබියදීත් ගම්වාසීන්ගේ අනියත සැකය හේතුවෙන් මෙම දරුවාට තවමත් පාසලක් හිමිවී නොමැත.
ඊයේ (02දා) දිනයේදී වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ගොස් යළිත් එම පාසලේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පියවර ගත්තද මෙම ප්‍රශ්නයට නිශ්චිත විසඳුමක් ලබාදීමට ඇමතිවරයාට එහිදී නොහැකි වී තිබේ.මෙම දරුවා පාසලට ඇතුළත් කිරීමට ඔහුගේ මව ගත් උත්සාහය නිසා ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ සතියකට ආසන්න කාලයක් පාසල වසා දමා තිබුණි.
මේ පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ජාතික ළමාරක්ෂක අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් මැදිහත්ව කරුණු සොයාබලා තිබුණද, දරුවාට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතියට විසඳුමක් ලබාදීමට ඔවුන්ට හොහැකි විය.සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂඥ වෛද්‍යවරුන්, ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන්, වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහ කුලියාපිටිය කලාප කාර්යාලයේ නිලධාරීහු ඊයේ (02දා) දිනයේදීද ගල්පොල, බෝහන්දිය සම්බෝධි ප්‍රාථමික විදුහල වෙත පැමිණ සිටියහ.
මෙහිදී පාසලේ දරුවන්ගේ මවුපිය හමුවක් පැවති අතර, දරුවාගේ පාර්ශ්වයට සාධාරණයක් වන තීරණයක් ලබාදීමට ඇමතිවරයා අපොහොසත් විය.
මේ පිළිබඳව පසුව කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වසරේ පළමු වාරය අවසන් වීමට පෙර අදාළ දරුවාට වෙනත් පාසලක් ලබාදීමට තමා මැදිහත් වන බවත්, එතෙක් ප්‍රජා ශාලාවක් වෙත ගුරුවරයෙකු ගෙන්වා දරුවාට අවශ්‍ය අධ්‍යාපන කටයුතු ලබාදීමට පියවර ගන්නා බවත්ය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය කියා සිටියේ, මෙම දරුවාට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය කඩවීමක් ඉන් සිදුවන බවයි.අනෙකුත් පාසල් සිසුන්ට ලැබෙන අයිතිය මෙම දරුවාටද ලැබිය යුතු බවත්, මෙම දරුවාට පාසලක් ලබාගැනීම වෙනුවෙනුන් ඉදිරියටත් පෙනීසිටින බවත් ඇය පැවසුවාය.
මේ සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සකස් කළ වාර්තාව අද (03දා) දිනයේදී තමා අතට ලැබීමට නියමිත බවද උඩගම මහත්මිය ප්‍රකාශ කළාය. මේ පිළිබඳව කළ විමසීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතා,
"මීට කලින් කතා කළේ අම්මාට රෝගය තිබෙනව නම් දරුවාට ප්‍රශ්නයක් වෙන නිසා පරිවාසෙට දාන ඒක හොඳම දේ කියලයි. නමුත් අම්මා ඒකට කැමති නැහැ. ඒ නිසා අපි තීරණය කළා වෙනත් පාසලකට දරුවා ඇතුළත් කරන්න. දරුවායි අම්මයි දෙන්නම කැමති නෑ මේ පාසලට යන්න. සමහර පිරිස්වලට තමයි මේ පාසලට යවන්න ඕන වෙලා තිබුණේ. අම්මා කියනවා අකැමැත්තෙන්ලු ළමයා පාසලට අරන් ගියේ. මානව හිමිකම් කියලා බලපෑම් කරලා දැන් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා. මේ නිසා පාසල සතියක් වහන්න වුණා.
ගම්වල තත්ත්වය අනුව දරුවාට පාසලක් දෙන එක ප්‍රසිද්ධ කරලා කරන්න බැහැ. ඒ ගමේ ඉන්නේ මහ අමුතු මිනිස්සු වගයක්. කොළඹ මානව හිමිකම් කට්ටියට කෑගහලා යවලා තියෙන්නෙ. ඒ අය අපිට හදන්න බැහැ. මානව හිමිකම් කියන්න අපි ඇමරිකාවේ ජිනීවා නෙමෙයි. මේක ලංකාව. සමහර මත වෙනස් කරන්න හරි අමාරුයි. සාම්ප්‍රදායික මත තියෙනවා.
පාසලක් හොයලා දෙනකම් කවුරු හරි ගුරුවරයෙක් යොදවලා මේ දරුවාට මූලික ටික වෙනම ප්‍රජා ශාලාවක උගන්වන්න කියලා සිද්ධිය වුණු පාසලේ විදුහල්පතිවරයාට මම කිව්වා. වෙන ලිපිනයකින් හරි ඒ දරුවා වෙනත් පාසලකට ඇතුළත් කරනවා. එහෙම කරන්නේ ඒ ලිපිනයෙන්ම ඇතුළත් කරලා ඒ පාසලෙත් උද්ඝෝෂණ කළොත් දරුවාට මානසිකව වේදනා එන නිසා.
අපිට මිනිස්සු හදන්න බැහැ. දරුවා ඇතුළත් කරන්න කොහොම හරි මම වැඩපිළිවෙළක් හදනවා. ගිය වසරේ ඇපීල් වුණු ළමයි ඇතුළත් කළේ අගෝස්තු මාසයේ නිසා පළමු වාරය ඇතුළතදී මේක ඉවර කරනවා."යැයි පැවසීය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය, "මේ දරුවාට වෙනම උගන්වන්න උත්සාහ ගන්නවා නම් ඒ වෙනුවෙන් පෙනී සිටීම අපේ යුතුකමක්. දරුවෙකුට පාසලකට යනවා කියලා හුදකලාව ඉගෙනගන්න ඉඩහැරීම නෙමේ හැම අයිතියක්ම ලබාදිය යුතුයි. සාමාන්‍ය විදියට දෙමවුපියන්ට කැමැති ආකාරයේ අධ්‍යාපනයකට යොමුකරන්න දරුවාට පූර්ණ අයිතියක් තිබෙනවා.
රටේ තියෙන අධ්‍යාපන පද්ධතියට සම්බන්ධ වෙන්න දරුවාට සම අයිතියක් තිබිය යුතුයි. පළාතේ මිනිස්සු කැමැති නැහැ කියලා දරුවාගේ අධ්‍යාපන අයිතිය නැති කරන්න බැහැ. මේ තොරතුරු සියල්ල පිළිබඳව අපි අධ්‍යයනය කරන්න ඕන. මේ සඳහා කොමිෂන් සභාව විදියට මැදිහත් වෙන්නේ කොහොමද කියලා අපි තීරණයක් ගන්නවා. කිසිම දරුවෙක් ඒ විදියට හුදෙකලා කරන්න බැහැ.
බොහෝවිට දරුවා සමාජය සමග බද්ධ වෙන්නේ පාසල හරහායි. එතකොට ඒ දරුවගේ ප්‍රජාව මොකද්ද? සමාජයෙන් කොන්වෙලා ඒ දරුවාට අධ්‍යාපනය ලබන්න වෙන්නේ. මේ විදියට ප්රජාවකට බැහැ තමන්ට ඕන විදියට අත්තනෝමතික විදියට නීතිය අතට අරගෙන කටයුතු කරන්න. මේ අවස්ථාවේදී දේශපාලන පද්ධතියටත්, නීති පද්ධතියටත් වගේම අනෙකුත් සෑම පද්ධතියකටම යුතුකමක් තියෙනවා කඩවෙන අයිතිවාසිකම් වෙනුවෙන් මැදිහත්වෙලා කටයුතු කරන්න. මේ දරුවාට වෙනම උගන්වන්න උත්සාහ ගන්නවා නම් ඒ වෙනුවෙන් පෙනී සිටිම අපේ යුතුකමක් වනවා. අපි දරුවා වෙනුවෙන් පෙනී සිටිනවා" යැයි පවසා සිටියාය.
ජාතික ළමාරක්ෂක අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක එදිරිවීර ගුණසේකර මහතා, "ලිංගාශ්‍රිත රෝග විද්‍යා අංශයේ අයට ගම්වැසියන් බැණවැදිලා පලවාහැර තිබුණා. ඒ සම්බන්ධව දැනට කිසිවක් ප්‍රකාශ කරන්න බැහැ. ඒ වගේම දේශපාලඥයන් කියන ප්‍රකාශ සම්බන්ධවත් අපිට කිසිවක් ප්‍රකාශ කරන්න බැහැ. අපි තමයි මෙම ප්රශ්නයේදී ආයතන සම්බන්ධීකරණය කළේ.
නමුත් එය සාර්ථක වුණේ නෑ. මේ නිසා ජාතික ළමාරක්ෂක අධිකාරිය අධ්‍යාපන බලධාරීන් එක්කයි, අදාළ අනෙකුත් බලධාරීන් එක්කයි දැනට සාකච්ඡා කරමින් ඉන්නේ. දරුවාගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් අපි නිතරම පෙනී සිටිනවා. ගම්වල මිනිස්සුන්ගේ වැරදි මත දුරුකිරීම මුලින්ම කරන්න ඕන. සෑම අවස්ථාවකදීම දරුවාගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වෙන්න ඕන" යනුවෙන් සඳහන් කළේය.