නව ඉන්ෆ්ලුවන්සා වෛරස් රෝගය (HINI) සූකර උණ ලෙස වරදවා නම් කිරීමෙන් මෙරට සූකර නිෂ්පාදන පරිභෝජනයේ හා අලෙවියේ ගැටලු මතුවී ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ඩී.ආර්.ටී.පී. රත්නායක මහතා පවසයි.
ඒ මහතා නිවේදනයක් මගින් සඳහන් කර සිටියේ HINI යන වෛරසය 2009 වර්ෂයේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව ඉන්ෆ්ලුවන්සා වෛරසය ලෙස ප්‍රකාශයට පත් කළද එය මෙරට මාධ්‍ය සූකර උණ ලෙස වරදවා ප්‍රකාශයට පත්කර ඇති බවයි.
එම හේතුව නිසා සත්ත්ව පාලකයින් සහ පාරිභෝගික ජනතාව මෙන්ම දේශපාලන නායකත්වය තුළද වැරදි අවබෝධයක් ඇතිවීමට ඉඩකඩ පවතින බව අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
HINI වෛරසය සෘතුමය වෙනස්වීම් මත මහජනතාව අතර පැතිර යන උණ රෝගයක් වන බැවින් සූකර නිෂ්පාදන අලෙවියට හා පරිභෝජනයට ගැනීම පිළිබඳ කිසිදු බියක් ඇතිකර නොගන්නා ලෙසද ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.