ජාතික හෙළ උරුමයේ යෝජනාවලිය ජනාධිපතිවරණයට කලින් ක්‍රියාත්මක කිරීම දුෂ්කර බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙළ උරුමයේ නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවේදී පවසා තිබේ.
කරුණු 07කින් සමන්විත ප්‍රතිපත්ති ප්රකාශනයෙහි සඳහන් කරුණු යහපත් ඒවා වුවද ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කාලය සම්බන්ධව ගැටලුවක් ඇතිවන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් සමග මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර දින 05 කදී පිළිතුරක් ලබාදෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙම සාකච්ඡාවට එක්වූ ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා, 'අදට' මෙසේ අදහස් දැක්වීය.
“යෝජනා ඉදිරිපත් කිරීමේ දේශාපලන පසුබිමත්, යෝජනාවල අදහසත් අපි එහිදී පැහැදිලි කළා. ජනාධිපතිතුමා කිව්වේ බොහොම හොඳ යෝජනා තියෙනවා, නමුත් ජනාධිපතිවරණයට කලින් ඉෂ්ට කරන්න දුෂ්කරයි කියලයි. අපි පෙන්වලා දුන්නා ජනාධිපතිවරණයට කලින් යෝජනා ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග සාකච්ඡා කරලා පක්ෂයේ ස්ථාවරය අපිට දැනුම් දෙන්නම් කිව්වා.
ඉදිරි දින 05 ඇතුළත ප්‍රතිචාරයක් දක්වයි කියා අපි බලාපොරොත්තු වෙනවා. අපි අවසානයේදී දින 05 ක් ඇතුළත එය ලබාදෙන්න කියා ඉල්ලා සිටියා. ඉන්පසුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට බලාපොරොත්තු වෙනවා."
අරලියගහ මන්දිරියේ පැවැති මෙම සාකච්ඡාව සඳහා ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් එහි නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි, සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමි, මහලේකම් අමාත්‍ය පාඨලී රණවක, නියෝජ්‍ය මහලේකම් උදය ගම්මන්පිල සහ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් යන මහත්වරු සහභාගී වූහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත, ඩලස් අලහප්පෙරුම මහත්වරු එක්ව සිටියහ.