හැටන් ලංගම ඩිපෝවේ පාලන බලය එම ඩිපෝවේ සේවකයන් පිරිසක් අතට පත්කර ගැනීම නිසා එම ඩිපෝවේ පාරිපාලනය බිඳවැටී අදායම් තත්ත්වය පහළ වැටී ඇතැයි එම ඩිපෝවේ ඩිපෝ පරීක්ෂක රෝහණ සිල්වා මහතා පැවසීය.
හැටන් ඩිපෝවේ කළමනාකාරවරයා සහ තමන් ඇතුළු සේවක පිරිසකට එම ඩිපෝවේ සේවක පිරිසක් තර්ජනය කිරීම හේතුවෙන් එම තර්ජනයට ලක්වූ සියලු දෙනා දින කිහිපයක් සේවයට වාර්තා කර නොකර සිටින බවද හෙතෙම පවසා සිටියේය.
පළාත් පාලන මැතිවරණය අවසන් වීමෙන් පසු මැතිවරණ ප්රතිඵල සමග ඩිපෝවේ ඇතැම් සේවකයන් හිටපු ජනාධිපතිවරයාගේ ඡායාරූප බස් රථවල අලවා සිය පාලන බලය බලහත්කාරයෙන් ඔවුන් අතට ගැනීම නිසා දිනකට ධාවනය වූ ලංගම බස් රථ සියයෙන් අද (14දා) වන විට බස් රථ හතළිහක් පමණක් ධාවනය වූ බවද රෝහණ ද සිල්වා මහතා පැවසීය.
හැටන් ලංගම ඩිපෝවේ දිනක ආදායම රුපියල් ලක්ෂ පහළොව දක්වා පැවැතියද, දැනට දින කිහිපයක සිට එම ආදායම් තත්ත්වය රුපියල් ලක්ෂ අට දක්වා පහත වැටී ඇති බවත්, එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දැක්වූ එම ඩිපෝවේ විශාල සේවක පිරිසක් පවත්නා තත්ත්වය හේතුවෙන් සේවයට වාර්තා නොකරන බවත් හෙතෙම ප්රකාශ කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පිහිටි ලංගම ප්රධාන කාර්යාලය හා හැටන් පොලීසිය එක්ව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.