ස්වීඩන් ජාතික තරුණියක වූ ඉවෝන් ජොන්සන් නැමැත්තිය රාජගිරිය රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේදී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුත්‍ර‘යෙකු වූ ජූඩ් ශ්රමන්ත ජයමහ නැමැත්තාට පැනවූ මරණ දඬුවම පිළිබඳ තීන්දුව ඊයේ (09දා) ඔහු කොළඹ මහාධිකරණයට ගෙන්වා තේරුම් කරදෙන ලදී.
ජනාධිපතිවරයා නියම කරන දිනයක වේලාවක වැලිකඩ බන්ධනාගාරයේදී ප්‍රාණය නිරුද්ධ වනතුරු විත්තිකරුගේ බෙල්ලෙන් එල්ලා තබන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මිය ප්‍රකාශයට පත්කරන විට විත්තිකරුගේ මෙන්ම ඔහුගේ මවගේද දෑස්වලින් කඳුළු කඩාහැළුණි.
අධිකරණ ශාලාව තුළ දැල්වෙමින් තිබූ විදුලි බුබුළු නිවා දමා, ඒ තුළ ක්‍රියාත්මක වෙමින් තිබූ විදුලි පංකාද අක්‍රිය කළ පසු මහාධිකරණ විනිසුරුවරිය මෙන්ම අධිකරණ ශාලාව තුළ රැස්ව සිටි නීතීඥවරුන් ඇතුළු සියලු දෙනාම නැගී සිටි අවස්ථාවේදී විත්තිකරුගේ මරණ දඬවම ප්‍රකාශයට පත්කළ විනිසුරුවරිය ඒ බව සනාථ කෙරෙන ලියවිලිවලට අත්සන් කළ පෑනද මේසයේ ඇන කඩා දැමුවාය.
2006 ජුනි 30 වැනිදා රාජගිරිය රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේදී ඉවෝන් ජොන්සන් නැමැති තරුණිය ඝාතනය කළ බවට වූ චෝදනාවට වරදකරු වීම නිසා ජූඩ් ශ්රමන්ත ජයමහ නැමැති විත්තිකරුට මෙලෙස මරණ දඬුවම නියම විය.
ජායාරූප ක්‍රිෂාන් රණසිංහ