ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙකඩ වී ඇතැයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කළද, ඉදිරි මැතිවරණය සඳහා පෙර පරිදිම එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කිරීමට පක්ෂ 14 ක නායකයන් තීරණයකට පැමිණි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කළේය.
ඉදිරි මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කරන ආකාරය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු අදාළ පක්ෂ නායකයන් 14 දෙනා එකතුව සාකච්ඡාවක් පැවැත්වූ බවද ඔහු පවසා සිටියේය.
මීට අමතරව අද (28දා) දිනයේදීද එම කණ්ඩායම එකතු වී සාකච්ඡාවක් පැවැත්වෙන බවත්, එහිදී ඉදිරි මැතිවරණයේදී බිම් මට්ටමේ සිට සිදුකළ යුතු මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඇතුළු මැතිවරණයට වැදගත් වන කරුණු ගණනාවක් පිළිබඳවද සාකච්ඡා පවත්වන බවත් ඔහු සඳහන් කළේය.
ඊයේ (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරි මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කිරීමේදී පක්ෂවලට ලැබිය යුතු අපේක්ෂක සංඛ්‍යාව කොතරම්ද යන්න වාර්තාවක් ලබාදෙන ලෙසට පක්ෂ නායකයන්ට උපදෙස් ලබාදුන් බවයි.
මීට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණයේදී ඉදිරිපත් කිරීමට කටයුතු කරන ප්‍රතිපත්ති ප්රකාශනයද මේ දිනවල සකස් කරමින් තිබෙන බව හෙතෙම තවදුරටත් පවසා සිටියේය.