සංචාරක වීසා උපයෝගී කරගෙන කාන්තාවන් විදේශ රැකියා සඳහා රැගෙන යාමේ ජාවාරමක් නීතියේ රැහැනට කොටු කරගැනීමට කටුනායක ගුවන්තොටුපොළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට හැකි වී තිබේ.
මෙලෙස නීති විරෝධී අන්දමින් විදේශගත කිරීමට තැත්කළ කාන්තාවන් 17 දෙනෙකු පෙරේදා (20දා) අත්අඩංගුවට ගෙන තිබේ. ඩුබායි රටේ රැකියා සඳහා යැවීමට සංචාරක වීසා, කාර්යාංශයේ ව්‍යාජ ආරක්ෂිත මුද්දර හා සංචාරක ලියවිලි යොදාගෙන උප ඒජන්තවරුන් තිදෙනෙකු විසින් මෙම ජාවාරම මෙහෙයවා තිබේ.
පසුව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ නාත්තන්ඩිය හා මිල්ලෑව ප්‍ර‘දේශයේ කාන්තාවන් දෙදෙනෙකු සහ ගෙලිඔය ප්‍ර‘දේශයේ පිරිමි පුද්ගලයෙකු විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවයි. මොවුන් උප රැකියා ඒජන්තවරුන් ලෙස කටයුතු කරන බවත්, මේ පිරිස විසින් රුපියල් 260,000.00 ක මුදලක් වංචනිකව ලබාගෙන තිබෙන බවත් හෙළි වී තිබේ.
අදාළ සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
රැකියා සඳහා කාන්තාවන් විදේශගත කිරීමට සංචාරක වීසා හා කාර්යාංශයේ ව්‍යාජ මුද්දර උපයෝගී කරගැනීම සම්බන්ධව වහාම සොයාබලා ඒවා නතර කිරීමට කටයුතු කරන ලෙස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය උපදෙස් ලබාදුන් බව කාර්යාංශ සභාපති නීතිඥ නන්දපාල වික්‍රමසූරිය මහතා සඳහන් කරයි. ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළ ඒකකය මගින් පැය 24 පුරා ක්‍රියාත්මක වන ව්‍යාජ අයුරින් රැකියා සඳහා විදේශගත වන අය හඳුනාගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් දියත් කර තිබේ. ඒ අනුව පසුගිය සති දෙකක කාලය තුළදී එවැනි අය 40 ක් පමණ හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.
මෙලෙස සංචාරක වීසා හා ව්‍යාජ ආරක්ෂිත මුද්දර උපයෝගී කරගෙන කාන්තාවන් රට යැවීමේ ජාවාරම්වලට සම්බන්ධ රැකියා ඒජන්සි පිළිබඳව විමර්ශනය කෙරෙන අතර, එවැනි අයගේ බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව කාර්යාංශයේ සබාපති නීතීඥ නන්දපාල වික්‍රමසූරිය මහතා සඳහන් කීය.
කාර්යාංශයේ සභාපති නන්දපාල වික්‍රමසූරිය මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම දියත් වූ අතර, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය හා කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකය සැකකටයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සමත්විය.