වේයන්ගොඩ වේටෙක්ස් භූමියේ පිහිටුවා ඇති යුද හමුදා කදවුරේ අවි ගබඩාව ඉක්මනින්ම එම කදවුරෙන් ඉවත් කර ප්‍රදේශයේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන ලෙස ඉල්ලා ජනතා අත්සන් ලක්ෂයක පෙත්සමට අත්සන් ලබා ගැනීම ඊයේ (18) වේයන්ගොඩ නගරයේදී ආරම්භ කෙරිණ.
මෙම අවි ගබඩාව වහා ඉවත් කරන ලෙසට ඉල්ලා සිටීමට පසුගියදා එම කදවුර කේන්ද්‍රව කිලෝමීටර් හතරක ප්‍රදේශයේ විහාරසථානයන්හි මහා සංඝරත්නය ඇතුලු ජනතා නියෝජිතයෝ තීරණය කරනු ලැබූහ.
මීට වසර හයකට පෙරදී පැවති රජය ජනතා විරෝධය නොතකමින් උපක්රමශීලීව ජනතා විරෝධය මර්දනය කර මාධ්‍යවේදීන්ටද බලපෑම් කර මෙම අවි ගබඩාව ආරම්භ කළ බවත් එදා ඇතිවූ ජනතා විරෝධය සත්‍ය බව මෙදා සාලාව කදවුරේ සිද්ධියෙන් පැහැදිලි වන බවත් ඔවුහු මෙහිදී අවධාරණය කළහ. ජනතා අත්සන් ලක්ෂයක් ඇතිව මෙම පෙත්සම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද සංවිධායකයෝ පැවසූහ.
මේ පිළිබදව කළ විමසීමේදී යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ අවි ගබඩාව ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි. එය ඉක්මනින් අවසන් කෙරෙනු ඇති බවද එම නිලධාරීයා සදහන් කළේය.