ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝඩි ලබන සඳුදා පදවියේ දිව්රුම් දීමේ උත්සවයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිස සමග එක් වෙන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද ආරාධනය පිළිගත නොහැකි බව උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් පවසයි.
විදේශ ඇමති ජී.එල්.පීරිස් විසින් ජනාධිපතිවරයා වෙනුවෙන් කරන ලද ආරාධනය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරන මහ ඇමතිවරයා, ඒ පිළිබඳව සිය කෘතඥතාවය පළ කරමින් තමාට ඊට සහභාගී විය නොහැකි බව දැනුම්දී ඇති බව පැවසෙයි.
විදේශ ඇමති මහාචාර්ය ජී.එල්.පීරිස් වෙත සිය තීරණය ලිපියකින් දැනුම් දී ඇති මහ ඇමතිවරයා එම කාරුණික ඉල්ලීම භාර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කර ඇති බවද කියැවෙයි.
උතුරු පළාත් සභාවට පැවරෙන කටයුතු අසාර්ථක තත්වයක පවතින අතරවාරයේ යුද හමුදාව දිගින් දිගටම ප්‍රදේශයේ රැඳී සිටීම නිසා මහජනතාව බිය ජනක පරිසරයකට තල්ලු කර ඇති වාතාවරණයක් පවතිද්දී ඉහත කී ආරාධනය භාර ගනු ලැබීම මගින් මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභාව අතර ශක්තිමත් සහයෝගීතාවයක් ඇති බවක් පෙන්නුම් කෙරෙන බව මහ ඇමති විග්නේෂ්වරන් විසින්, විදේශ ඇමතිවරයා නමට යොමු කරනු ලැබ ඇති ලිපියේ වැඩිදුරටත් දැක්වෙන බව බී.බී.සී.ය පවසයි.
ඉහත කී වාතාවරණය යටතේ එවැනි ආරාධනයක් භාර ගනු ලැබීම මගින් වරදක් කරන ලද බවට තමා තුළ හැඟීමක් ඇති වනු ඇතැයි ද මහ ඇමතිවරයා සිය ලිපිය මගින් පෙන්වා දී ඇති බව කියැවෙයි.
කෙසේ වුවද, ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා මගින් ඉන්දියාවේ නව අගමැතිවරයාට තම ශුභ පැතුම් දැනටමත් යොමු කරනු ලැබ ඇති බවද මහ ඇමති විග්නේෂ්වරන් පවසා තිබේ.
මේ අතර, උතුරු පළාත් සභාවේ සභාපති සී. වී. කේ.සිවඥානම් ප්‍රකාශ කර ඇත්තේ, ඉන්දීය අගමැතිවරයාගේ දිවුරුම්දීමේ උත්සවයට ජනාධිපතිවරයා සමග යන දූත පිරිස සමඟ උතුරු පළාත් මහා ඇමති සී.වී.විග්නේෂ්වරන් සහභාගිවීම සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බවයි.
රජය උතුරු පළාත් සභාවට ලබා දිය යුතු සහාය ලබානොදෙන බව පවසන ඔහු උතුරු පළාත් සභාවට මුදල් ලබා දෙන ලෙසට කරන ලද ඉල්ලීම්වලට පිළිතුරු පවා ලැබී නැති බව තවදුරටත් ප්‍රකාශ කර තිබේ.