වාහන ලීසිං පහසුකම් සැපයීමේදී අදාළ වාහනයේ වෙෙළඳපොළ වටිනාකමින් 70% ක සීමාවකට පමණක් ලීසිං පහසුකම ලබාදීමේ කොන්දේසියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බැංකු හා මූල්‍ය සමාගම් වෙත පනවනු ලැබ තිබේ.
මෙම නව කොන්දේසිය ඊයේ (14දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව, සියලු බැංකු හා මූල්‍ය සමාගම් වෙත ලබාදී ඇති මෙම සීමාව යටතේ, 100% ක සම්පූර්ණ ලීසිං පහසුකමක් (Full Lease) ලබාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව නොලැබෙන අතර, ලීසිං පහසුකම් ලබාගැනීමේදී වාහනයේ වෙළෙඳපොළ වටිනාකමින් 70% ක උපරිමයකට පමණක් සීමා වීමට සිදුවනු ඇත.
පසුගිය කාලයේදී කුඩා මෝටර් රථවල මිල අඩුවීම, වාහන ලීසිං පහසුකම් අඩු පොලී අනුපාත යටතේ පහසුවෙන් ලබාගැනීමට හැකිවීම, මෙන්ම ඉන්ධන මිල සැලකිය යුතු ලෙස අඩුවීම යන කරුණු හේතුවෙන් බොහෝ දෙනා වාහන මිලදී ගැනීමට පෙළඹී සිටියහ.
මේ ආකාරයෙන් වාහන වැඩි වශයෙන් මිලදී ගැනීම රටේ ආර්ථිකයට අයහපත් ආකාරයෙන් බලපාන අතර, එය මහාමාර්ගවල වාහන තදබදය වැඩිවීමට හේතුවක් බවටද විවිධ අදහස් පැවතිණි.
ආසන්න මාස කිහිපයේදී ජනතාව විශාල වශයෙන් මෝටර් රථ මිලදී ගැනීම ආදී වූ පාරිභෝගික වියදම් වෙත පෙළඹීමෙන් ශ්‍රී ලංකාව සතු විදේශ විනිමය සංචිත තවදුරටත් පහළ වැටීම වැළැක්වීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී ඩොලරය නිදහසේ පාවීමට ඉඩහැරීම තුළ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමද මෙරට වෙළෙඳ පොළේ වාහන මිල ඉහළ යෑමට හේතු වූ අතර, එයද වාහන මිලදී ගැනීම යම් ආකාරයකින් අධෛර්යමත් කරන්නක් විය.