ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන් විමතියෙන්
2010 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති ආසියානු කුසලාන තරගාවලියට සහභාගීවීමට පැමිණි ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ඔට්ටු තැබීමේ හා තරග පාවාදීමේ චෝදනාවට ලක්වීම පිළිබඳව සකස් කළ වාර්තාවට කුමක් වූයේද? යන්න පිළිබඳව තමන් විමතියට පත්ව සිටින බවත්, එම වාර්තාව විධායක කමිටුවට ඉදිරිපත් නොකළේ මන්දැයි යන්න ප්‍රශ්න කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයෝ ක්‍රිකට් ආයතනයෙන් ප්‍රශ්න කර සිටිති.
ඉන්දීය කණ්ඩායම දඹුල්ලේ පැවැති තරග සඳහා එක්වී සිටින විට ඔවුන් නැවතී සිටි හෝටලයේ එක් ක්‍රීඩකයෙකුගේ කාමරයකට කාන්තාවක් පැමිණි බවත් ඇය එදින රාත්‍රිය ඔහුගේ කාමරයේ ගත කර පසුවදා අලුයම හතරට පමණ එයින් පිටව ගොස් තිබෙන බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණි.
මෙම සිදුවීම පිළිබඳව එම තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ ආරක්ෂාව භාරව කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකු වන ලෝරන්ස් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අදාළ අංශවලට දැනුම් දුන් බවත් සී.සී.ටී.වී. කැමරා දර්ශන ඔස්සේ ඒ බව තහවුරු වී තිබෙන බවත් එකල වාර්තා විය.
මේ සිදුවීම් පිළිබඳව සොයා බැලීමට වාර්තාවක් සකස් කළද මේ දක්වාම එයට කුමක් වූයේදැයි යන්න පිළිබඳව සඳහනක් නොමැත. ඉන්දීය ක්‍රිකට් ආයතනයේ බලපෑම මත එම වාර්තාව යට ගැසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ප්‍රබල චෝදනාවක් එල්ල වී තිබේ.
එය එසේ වී නම් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවන දරුණු අපකීර්තියක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයෝ පවසති.
2013 වසරේදී ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදී තරග පාවාදීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ විනිසුරු මුකුල් මුද්ගල් කමිටුව මේ සිදුවීම සම්බන්ධයෙන් සොයා බලා තිබෙන අතර, ඒ පිළිබඳව තොරතුරු විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් උත්සාහ කළත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රමාණවත් සහායක් නොලැබුණ බව ඉන්දීය මාධ්‍ය ඊයේ (19දා) වාර්තා කළේය.
මෙම චෝදනාවට ලක්ව තිබෙන ඉන්දීය ක්‍රීඩකයා වන්නේ සුපිරි පිතිකරු සුරේෂ් රයිනාය. එසේම ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදී තරග පාවාදීම් සම්බන්ධයෙන් ක්‍රීඩකයන් තිදෙනෙකුගේ නම් මුද්ගල් වාර්තාවට ඇතුළත් කර තිබුණත් ඔවුගේ කීර්තිනාමයට සිදුවන හානිය පිළිබඳව සලකමින් එම නම් ප්‍රසිද්ධ නොකරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මුද්ගල් කමිටුව ඉල්ලා සිටියේය.
ඒ අනුව ඉන්දීය මාධ්‍ය එම ක්‍රීඩකයන් තිදෙනා කවුරුන්ද යන්න පිළිබඳව ඍජුව වාර්තා නොකළත් විවිධ වාර්තා උපුටා දක්වමින් එංගලන්ත හිටපු ක්‍රීඩකයෙකු වන ඔවායිස් ෂා හා සුරේෂ් රයිනා සිටින බවට වාර්තා කරනු ලැබීය.
ඒ අනුව සුරේෂ් රයිනා පිළිබඳව දිගින් දිගටම මුද්ගල් කමිටුව කරුණු විමර්ශනය කර තිබෙන අතර, එහිදී ශ්‍රී ලංකාවේ සිදුවීම නැවත කරළියට පැමිණ තිබේ. වරක් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සේවය ලබාගැනීමටත් කටයුතු කළ බවට පසුගිය අගෝස්තු මාසයේදී අනාවරණය විය. මෙම වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රභලයෙකු විසින් විනාශ කර ඇති බවට සැකයක්ද මතුව තිබේ.