වරාය නගරයට අදාළ රජයේ අවසරපත් හා අනුමැතීන් ඉදිරිපත් කරනවා
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සඳහා 2014 වසරේ සැප්තැම්බර් මස 16 වැනි දින ශ්‍රී ලංකා රජය සමග ඇති කරගත් ගිවිසුම් ප්‍රකාරව, අදාළ රජයේ ආයතන වෙතින් ව්‍යාපෘතිය සඳහා නිකුත් කෙරුණු නියමිත අවසරපත් හා අනුමැතීන් ඉදිරිපත් කිරීමට තම සමාගම විසින් කටයුතු යොදනු ඇති බව චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම (CCCC) පවසයි.
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ආයෝජක සීමාසහිත චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම කරුණු පැහැදිලි කරමින් පෙන්වා දෙන්නේ, කැබිනට් අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරණයට අනුව වරාය නගර ව්‍යාපෘතියේ වැඩකටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවන ලෙසට, එම ව්‍යාපෘතියේ වැඩකටයුතු භාර CHEC Port City Colombo පෞද්ගලික සමාගම වෙත වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් විසින් නිල වශයෙන් දැනුම්දී ඇති බවයි.
එමෙන්ම අදාළ රජයේ ආයතන වෙතින් ව්‍යාපෘතිය සඳහා නිකුත් කෙරුණු නියමිත අවසරපත් හා අනුමැතීන් ඉදිරිපත් කරන ලෙසද CHEC Port City Colombo සමාගම වෙත නිල වශයෙන් දැනුම්දී ඇති අතර, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සඳහා 2014 වසරේ සැප්තැම්බර් මස 16 වැනි දින ශ්‍රී ලංකා රජය සමග ඇති කරගත් ගිවිසුම් ප්‍රකාරව CHEC Port City Colombo සමාගමේ නෛතික හිමිකම්වලට පටහැනි නොවී වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය විසින් උපදෙස් ලබාදී ඇති පරිද්දෙන් එම අදාළ වාර්තාවන් ඉදිරිපත් කිරීමට සමාගම විසින් කටයුතු යොදනු ඇති බවද ඔවුන් පවසයි.
CHEC Port City Colombo පෞද්ගලික සමාගම සීමාසහිත චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගමට (China Communications Construction Company – CCCC) පූර්ණ වශයෙන් අයත් ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක් බවද ඔවුන් වැඩිදුරටත් පවසයි.
Global Fortune 500 සමාගම් අතරට අයත් ලැයිස්තු ගත සමාගමක් වන CCCC සමාගම වගකීම් සහගතව ක්‍රියාත්මක වන සමාගමක් බව පෙන්වා දෙන ඔවුන්, ඒ අනුව කලින් අනුමත කරන ලද පාරිසරික බලපෑම් ඇගයීම් අධ්‍යයනය හා එහි පරිපූරක වාර්තාව විසින් පවරන ලද වලකීම්ද ඇතුළුව ශ්‍රී ලංකා රජයට පූර්ණ සහාය ලබාදීමට සමාගම කටයුතු කරනු ඇති බවද පවසයි. එමෙන්ම ශ්‍රී ලංකාවෙහි නීතිවලට අනුකූලව කටයුතු කිරීමට හා මේ ආකාරයේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියකදී අනුගමනය කළ යුතු රජය විසින් පනවන ලද මාර්ග නිර්දේශයන් අනුගමනය කිරීමටද CCCC සමාගම කටයුතු කරනු ඇති බවද ඔවුන් පවසයි.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සඳහා CCCC සමාගමේ ඍජු විදේශ ආයෝජනය ඇ.ඩො.බිලියන 1.4 කි. මෙම ව්‍යාපෘතිය හරහා උත්පාදනය කෙරෙනු ඇතැයි ඇස්තමේන්තු ගත දේශීව රැකියා අවස්ථා ගණන 83,000ක් වන අතර, ව්‍යාපෘතිය සම්පූර්ණ කළ විට රට තුළට ඇදී එතැයි අපේක්ෂිත ජාත්‍යන්තර ආයෝජනවල වටිනාකම ඇ.ඩො.බිලියන 13 කි. මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ වාණිජ අවදානම CHEC Port City Colombo පෞද්ගලික සමාගම විසින් දරනු ලබන බවද ඔවුන් කියයි.
ජාත්‍යන්තර කීර්තිමත් සමගම් රැසක් කොළඹ වරාය නගර ව්‍යාපෘතියට තාක්ෂණික හවුල්කරුවන් වශයෙන් දායක වන අතර, ඇමෙරිකාවේ පිහිටි ලොව ප්‍රමුඛතම නිර්මාණ හා නාගරික සංවර්ධන සමාගමක් වන AECOM, ලොව විශාලතම ඉංජිනේරු උපදේශන සමාගමක් වන එක්සත් රාජධානියේ ATKINS සමාගම හා ව්‍යාපෘතියේ ප්‍රධාන සැලසුම් උපදේශන සමාගම වන ස්වීඩනයේ SWECO සමාගම ඊට උදාහරණ කිහිපයක් බව ඔවුන් පෙන්වා දෙයි.
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ දැක්ම වන්නේ දකුණු ආසියාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික හා සංචාරක කේන්ද්‍රය බවට පත්වීමය. ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන භූමියෙහි දේශීය හා විදේශීය ආයෝජන යටතේ සාප්පු සංකීර්ණ, හෝටල්, මහල් නිවාස, ප්‍රදර්ශන මධ්‍යස්ථානයක්, අධ්‍යාපන ආයතන, සෞඛ්‍ය සේවා පහසුකම්, තේමා උද්‍යාන හා අවන්හල් ආදිය ඉදිකෙරෙනු ඇත. වරාය නගරය සියලු ශ්‍රී ලාකිකයන් හට ප්‍රයෝජන ලැබිය හැකි ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් නිර්මාණය කෙරෙන නගරයක් බවද සීමාසහිත චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

