වනජීවීන් රැකගත යුත්තේ විදේශ සංචාරකයන්ට හෝ කොළඹ හතෙන් පැමිණෙන අයට බලා විනෝද වීමට නොවන බවත්, ගමේ ජනතාවත් සමග ජීවත් වූ ඒ වනජීවීන් රැකගත යුත්තේ ගමේ ජනතාවම බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ වනජීවී දෙපාර්තමේන්තුවට වසර 65ක් පිරීම නිමිත්තෙන් බත්තරමුල්ල වනජීවී දෙපාර්තමේන්තුවේ පැවති උත්සවක් අමතමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"මේ වනජීවීන් රැකගත යුත්තේ පිටරටින් එන සංචාරකයන්ට, එහෙම නැත්තම් කොළඹ හතේ ඉන්න අයට බලලා විනෝද වෙන්න නොවෙයි. මේ වනජීවීන් රැකගත්තේ අපේ ගමේ ඉන්න ජනතාවයි. ඔවුන් ගමේ අයත් එක්ක එකට ජීවත් වුණා. බොහොම හීලෑවට. ගමේ අයත් සතුන් වෙනුවෙන් යම් කොටස් වෙන් කරලා තිබුණා. එහෙම සමාජයක් අපේ රටේ තිබුණේ.
වනජීවී දෙපාර්තමේන්තුව කරන කටයුතු පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම ජනතාව සම්බන්ධ කරගැනීම තුළ ඔවුන්ගේ සහභාගීත්වය, නැතිනම් ඔවුන් වෙනුවෙන් මේ දේ කරනවාය කියන් දේ ඔවුන්ට දැනෙන්නට කටයුතු කිරීමට නම් මීට වඩා වෙහෙසෙන්ම ඕනෑ. මේ වනජීවීන් රැකගැනීම මේ දෙපාර්තමේන්තුවේ පමණක් නොවෙයි, ජනතාවගේත් වගකීමක් බවට පත් කිරීමට අපි කටයුතු කළ යුතුයි. අද සමහර වෙලාවට ගම්වලට වල් අලියෙක් ආවම ඒ සම්බන්ධව දොස් අහන්න වනජීවී නිළධාරීන්ට සිදු වෙනවා. නමුත් ඒ වන අලියා ගමට ගෙන්වා ගන්නේ නැතිව කටයුතු කිරීම ගම්මුන් විසින් දැරිය යුතු බව ඔවුන්ට අවබෝධ කර දිය යුතුයි. අපේ අමාත්‍යාංශයෙන් මුදල් ලබාදෙමින් වනජීවී දෙපාර්තමේන්තුවේ තාක්ෂණය යොදාගෙන අලි වැටවල් ඉදිකරමින් අපි පැවසුවේ, ගමේ අයට මහජන නියෝජිතයින්ට, නිළධාරීන්ට වගේම ප්‍රජාව යන තුන් කොටසටම එකතු වෙලා මේ කටයුත්ත කරන්න කියලයි. මෙතෙක් කල් වනජීවී දෙපාර්මේන්තුව තනිවම කරන්න ගිය කටයුත්ත අපි එකතු වෙලා සමගිව, සියලුදෙනාගේම එකඟත්වය අනුව කටයුතු කරනවා. ඒ සඳහා දක්ෂ ඇමතිවරයෙකුත් ලැබිලා තිබෙනවා. එතුමාට පුළුවන් වෙයි ජනතාව දැනුවත් කරන්න. ඒ වගේම, ප්‍රතිශතයක් හැටියට ආරක්ෂක අංශය හැරුණම රටේ සම්පතක් වෙනුවෙන් වැඩිම ජීවිත පරිත්‍යාග කරපු පිරිසක් ඉන්නේ වනජීවී දෙපාර්තමේන්තුවේ." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.