සූතිකාගාර පුහුණුව සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව විසඳීමට රජය නිසි පිළියමක් නොයෙදීම නිසා රෝහල් රැසක රෝගීන්ගේ ජීවිත අනතුරට ලක්වී ඇති බව 'අද' ට වාර්තාවේ.
මෙම ගැටලුවට අද (02දා) දහවල් 12.00 ට පෙර විසඳුමක් නොලැබුණහොත් දැනට වෘත්තීය ක්‍රියාමාර්ග දියත්කරන රෝහල්වලට අමතරව තවත් රෝහල් 05 ක හෙද වැඩ වර්ජනය ආරම්භ කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
පෙරේදා (30දා) සිට වැඩ වර්ජනයක් දියත්වන කුරුණෑගල මහරෝහල තුළ අත්‍යවශ්‍ය සේවා සිදුකරමින් සිටියද, හෙදියන් නොමැතිව වැඩකිරීමට හැකි බවට රෝහල් අධ්යක්ෂවරයා තර්ජනය කිරීම නිසා ඊයේ (01දා) දහවල් 12.00 සිට කුරුණෑගල රෝහලේ සියලුම කටයුතුවලින් ඉවත්වීමට කටයුතු කළ බවද එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
මේ නිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත් රෝගීන්ගෙන් 95%ට වැඩි ප්‍රමාණයක්, මහනුවර මහරෝහලට සහ හලාවත රෝහලට මාරුකර යැවීමට බලධාරීන්ට සිදුවූ බවද ඔහු පවසා සිටියේය.
මෙම සියලුම අපහසුතාවන්ට රෝගී ජනතාව පත්වීමේ වගකීම සෞඛ්‍ය ඇමතිවරයා සහ සෞඛ්‍ය ලේකම්වරයා විසින් භාරගත යුතු බවත්, එයට හේතුවී තිබෙන්නේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට මොවුන් කටයුතු නොකිරීම නිසා බවත් සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
මේ වනවිට මෙම ගැටලුව මුල් කරගනිමින් කුරුණෑගල මහ රෝහල, දඹදෙනිය රෝහල, දියතලාව රෝහල හම්බන්තොට මහ රෝහල, කොළඹ ජාතික රෝහල, බළපිටිය මූලික රෝහල යන රෝහල් තුළ වැඩ වර්ජනයක් දියත්වෙමින් තිබේ. මීට අමතරව අදාළ ප්‍රශ්නයට අද (02දා) දහවල් 12.00 ට පෙර විසඳුමක් නොලැබුණහොත් තවත් රෝහල් 05 ක් මෙම වර්ජනයටඑක්කිරීමට කටයුතු කරන බවද සමන් රත්නප්‍රිය මහතා පවසා සිටියේය.
ඉන්දික හේවාවිතාරණ / ගීතාංජලී ප්‍රියදර්ශනී