මීට වසර තුනහමාරකට පමණ පෙර සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් අල්ලාගෙන ප්රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි ලාංකිකයන් දෙදෙනෙකු ඇතුළු නැවියන් 11ක් නිදහස් කර ඇති බව වාර්තා වෙයි.
සෝමාලියානු වෙරළට කිලෝමීටර් 1500ක් දුරින් ගැඹුරු මුහුදේ ගමන් කරමින් සිටියදී 2010 නොවැම්බර් මාසයේ එම්.වී. ඇල්බෙඩෝ (MV Albedo) නමැති භාණ්ඩ ප්රවාහන නෞකාව මුහුදු මංකොල්ලකරුවන්ට හසුවීමෙන් පසු මෙම නැවියන් පිරිසද ප්රාණ ඇපකරුවන් බවට පත්විය.
කෙසේ වෙතත් මොවුන් නිදහස් කර ඇත්තේ කවර හේතුවක් මතද යන්න වාර්තා නොවෙයි.
පසුගිය සිකුරාදා දිනයේදී සෝමාලියාවේ ගිලියාකිනි නම් ප්රදේශයේදී මෙම නැවියන් කණ්ඩායම නිදහස් කර ඇති බවත්, පසුව ඔවුන් එක්සත් ජාතීන්ගේ නිලධාරීන් විසින් කෙන්යාව කරා රැගෙන ඒමට කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි.
මෙසේ සෝමාලියානු කොල්ලකරුවන් විසින් නිදහස් කර ඇති නැවියන් කණ්ඩායමට බංග්ලාදේශ ජාතිකයන් 7ක්, ශ්රී ලාංකිකයන් 2ක්, ඉන්දියානුවෙක් සහ ඉරාන් ජාතිකයෙක් ඇතුළත් වන බව පැවසෙයි.
නිදහස ලද නැවියන් පිරිස පිළිගැනීමට බංග්ලාදේශ තානාපති නිලධාරී චිරන්ජිව් සර්කාර් කෙන්යාවේ නයිරෝබි ගුවන් තොටුපොළට ගොස් සිටි බවත් බී.බී.සී.ය පවසයි.
මීට වසර දෙකකට පෙර එහි නැවියන් 7 දෙනෙකු නිදහස් කර තිබුනේ කප්පම් මුදලක් ලබාදීමෙනි. නමුත්, තවත් නැවියන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.
එක්සත් ජාතීන්ගේ තක්සේරුවලට අනුව එහි තවත් නැවියන් 40ක් පමණ මුහුදු කොල්ලකරුවන් භාරයේ පසුවෙති.