ජනපතිවරයා හා අගමැතිවරයා අධිකරණයට බලපෑම් නොකරන බවත්, මේ වනවිටත් හිටපු ඇමතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ පරීක්ෂණ විශාල ලෙස සිදුවෙමින් පවතින බවත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (20දා) මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදීය.
“මහින්ද රාජපක්ෂ මහත්තයගෙ කාලෙ විදිහට හොරු අල්ලන්න අපට බෑ. යමක් ආරංචි උන ගමන් හොරෙක් හෝ කවුරුන් හෝ අල්ලල හිරේ දාන එක තමා කරන්නෙ. අද වනකොට අපි හරි ක්‍රමවේදයකට නීතිය අධිකරණයට භාර දීල තියෙනව. දේශපාලඥයො අධිකරණය අතට අරන් නෑ. අපි පොලීසියට ගිහින් ඕ.අයි.සී. මහත්තයගෙ එස්.පී. මහත්තයගෙ බලය අතට අරන් ඒ පුටුවෙ වාඩිවෙන්නෙ නෑ. හැබැයි පහුගිය කාලෙ ඒක වුණා. ජනාධිපතිතුමත් අගමැතිතුමත් අපට ආදර්ශයක් වෙලා තියෙනවා.
අද වෙනකොට හිටපු මැතිඇමැතිවරුන්ගෙ පරීක්ෂණ විශාල වශයෙන් කෙරෙනව. ඒ පරීක්ෂණවල වාර්තාවන් ආවාම කවුද හොරු? කවුද නැත්තෙ? කියල බලාගන්න පුළුවන්.
මෛත්‍රිපාල ජනාධිපතිතුමත්, අගමැතිතුමත් කවදාවත් අධිකරණයට ඇඟිල්ල ගහන්න යන්නෙ නෑ. අපිට යන්න දෙන්නෙත් නෑ. ඒක තමා රටේ ජනතාව ඉල්ලපු දේ” යැයි රණතුංග මහතා වැඩිදුරටත් පවසා සිටියේය.