කුරුණෑගල වැව රවුමේ පිහිටි තානායමකදී කාන්තාවකගෙන් ලිංගික අල්ලසක් ලබාගැනීමට ගිය බව කියන මහව මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා ඊයේ (26දා) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මහව රැකෝගම ප්රදේශයේ පදිංචි 35 හැවිරිදි විවාහක කාන්තාවක විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලකට අනුව සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත.
පැමිණිල්ලක් යටපත් කිරීම සඳහා පැමිණිලිකාර කතට සහාය ලබාදී ඇති පොලිස් පරීක්ෂකවරයා, එහිදී ඇය සමග සුහදතාවක් ගොඩනගාගෙන නිතරම ජංගම දුරකථනය මගින් එම කාන්තාවට ඇමතුම් හා කෙටි පණිවුඩ ලබාදී තමා සමග අනියම් සබඳතාවක් ගොඩනගාගන්නා ලෙස බලකර ඇත.
ඒ අනුව ඊයේ (26දා) පෙරවරුවේ කුරුණෑගල වැව රවුමේ පිහිටි තානායක කාමරයකට පැමිණෙන ලෙස සැකකාර නිලධාරියා එම කාන්තාවට දැනුම්දී ඇත. ඒ අනුව පැමිණිලිකාරිය මෙම තත්ත්වය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමෙන් පසුව සැකකාර නිලධාරියාව අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර පොලිස් පරීක්ෂකවරයා හතළිස් හැවිරිදි විවාහකයෙකි. ඔහු ඊයේ (26දා) සවස මහව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.