රජයේ සේවකයන්ට වසර දහයකට වරක් වාහන බලපත්‍ර ලබාදුන්නද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර පහකට වරක් වාහන බලපත්‍රය ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
ඊයේ (17) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වසර පහකට වරක් පත්වන බැවින් මෙම තීරණය ගත් බවත්, එහිදී නවක පැරණි සියලු මන්ත්‍රීවරුන්ට වසර පහකට වරක් වාහන බලපත්‍ර ලබාදෙන බවත් අමාත්‍යවරයා කීය.
රාජ්‍ය නිලධාරීන්ට වඩා මන්ත්‍රීවරුන් කාර්යබහුල බැවින් එලෙස වසර පහකට වරක් බලපත්‍ර ලබාදීම සාධාරණ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් මේ පිළිබඳව විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ තමන්ට මේ පිළිබඳව මෙතෙක් දැනුම්දීමක් කොට නොමැති බවයි.
“අපට තාම මේ පිළිබඳව මොකුත් කියලා නෑ. මුලදි කිවුවා ණයක් දෙනවා කියලා. ඊටපස්සෙ කිවුවා වාහනයක් දෙනවා කියලා. කොහොම වුණත් මේ ගැන කතා කරන්න අද (18දා) කමිටුවක් රැස් වෙනවා. එතැනදි තමයි අවසන් තීරණය ගන්නේ. අපට නිල වශයෙන් දැනුම් දීලා නැති නිසා ඒ ගැන මොකුත් කියන්න බෑ. කොහොම වුණත් කෙනෙකුට තියෙන වරප්‍රසාදයක් කප්පාදු කරනවට අපට එකඟ වෙන්න බෑ* යනුවෙන් මන්ත්‍රීවරයා කියා සිටියේය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගෙන්ද අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ රජයේ සේවකයන්ට තිබූ වරප්‍රසාදය යළි ලබාදිය යුතු බවයි.
“මහජන නියෝජිතයන්ට බලපත්‍රයක් අවුරුදු 05කට වරක් දෙනවා වගේම රජයේ සේවකයන්ටත් එය ලබාදිය යුතුයි. එක්කෙනෙකුට අවුරුදු 05කට සැරයක්, එක්කෙනෙකුට අවුරුදු 10කට සැරයක් කියලා ක්‍රමවේද 02 ක් තියෙන්න බෑ. ඒකට අපි විරුද්ධයි* යනුවෙන්ද ඔහු සඳහන් කළේය.