වැට් බදු ලෙස රජයට අයවිය යුතු රුපියල් කෝටි 399 කට අධික මුදලක් වංචා කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් හිටපු නියෝජ්‍ය දේශීය ආදායම් බදු කොමසාරිස් ඥාණසිරිද සොයිසා ජයතිලක මහතාට වසර 102 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණය රුපියල් මිලියන 119.8 ක දඩයක්ද නියම කළේය.
වැට් බදු මුදල් ලෙස අයවිය යුතු රුපියල් කෝටි 399 ක මුදලක් ව්‍යජ ආයතන 12 කට ගෙවා වසර දෙකක කාලයක් තුළ අදාළ වංචාව සිදු කළ බවට වූ චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය මිලියන 119.8 ක දඩ මුදල නොගෙවුහොත් ඔහුගේ දේපළ රාජසන්තක කිරීමටද නියම කළාය.
විත්තිකරුට නියම කළ වසර 102 ක සිරදඬුවම වසර 03 ක කාලයකින් ගෙවී යන ලෙස ක්‍රියාත්මක කිරීමටද විනිසුරුවරිය වැඩිදුරටත් බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළාය.
මෙම නඩුවේ චෝදනා ලැබ සිටින විත්තිකරුවන් 13 දෙනා අතුරින් මීට පෙර තවත් විත්තිකරුවන් සිව්දෙනෙකු වරද පිළිගෙන දඬුවම් ලබාගෙන ඇති අතර, විත්තිකරුවන් 8 දෙනෙකු රටින් පැනගොස් සැඟවීම නිසා ඔවුන් නොමැතිව නඩුව විභාග කෙරිණි.