(GRAPHIC) බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරිය ලෙස එරට ස්වදේශ ලේකම්වරිය ලෙස කටයුතු කළ තෙරේසා මේ අද දිනයේදී දිවුරුම් දීමට නියමිතව තිබේ. 59 හැවිරිදි වියේ පසුවන තෙරේසා මේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් සිය ධුරයෙන් ඉවත්වීමත් සමගම කන්සර්වේටිව් පක්ෂයේ නායිකාව මෙන්ම අගමැතිවරයා ලෙසද තේරී පත්ව සිටින්නීය. හිටපු අගමැති ඩේවිඩ් කැමරන් අද සන්ධ්‍යාවේදී සිය ඉල්ලා අස්වීම බකිංහැම් මාලිගයේදී දෙවැනි එලිසබෙත් මහ රැජින වෙත පිරිනැමීමෙන් අනතුරුව මෙම කටයුතු සිදු වීමට නියමිතව තිබේ.
තෙරෙසා මේ මෙම තනතුරු වෙත තෝරා ගැනීම සඳහා වන කන්සර්වේටිව් පක්ෂ සාමාජිකයන්ගේ කැමැත්ත විමසීමේ තරගය වෙනුවෙන් තවත් සති දහයකට ආසන්න කාලයක් ඉතිරිව පැවතියත් ඇය හා තරගයට ඉදිරිපත් වූ ඇන්ද්‍රියා ලීඩ්සම් පසුගිය සඳුදා තරගයෙන් ඉවත්වීමත් සමගම තෙරේසා මේ සඳහා නිතරගයෙන්ම මේ සඳහා සුදුසුකම් ලැබුවාය. ඇය මේ සම්බන්ධයෙන් ස්තුති කරමින් ඊයේ සිය පක්ෂ සාමාජිකයන් ඇමතීමටත් කටයුතු කළාය.
ඒ අනුව හිටපු අගමැතිනී මාග්‍රට් තැචර්ට පසුව බ්‍රිතාන්‍ය දේශපාලනය තුළ අගමැති ධූරයට පත්වූ දෙවැනි කාන්තාව ලෙසටත් ඇය ඉතිහාසයට එක්ව තිබේ. 1997 වසරේ පටන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක ලෙසින් කටයුතු කරන තෙරේසාගේ ක්‍රියාකලාපය දන්නා ඇතැම් පිරිස් ඇයද තැචර් මෙන් තවත් යකඩ ගැහැනියක ලෙසද පසුගිය සතියේදී හඳුන්වා දී තිබුණි.
ඇගේ මෙම පත්වීමත් සමගින්ම ඉදිරියේදී බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලය කෙසේ වේවිදැයි යන්න පිළිබඳව ඊයේ දිනය තුළ වැඩි අවධානය යොමුව තිබුණි. විශේෂයෙන්ම හිටපු අගමැති ඩේවිඩ් කැමරන්ට සිය ධූරය අහිමි කළ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳ ජනමතවිචාරණයත් සමගම බෙදී වෙන්වුණු කන්සර්වේටිව් පක්ෂ නියෝජිතයන් ඒකරාශී කිරීම ඇගේ මූලික කාර්යය වී තිබේ. ඒ අනුව ඉදිරියේදී තමන් බ්‍රිතාන්‍ය ජනතාවගේ වැඩි කැමැත්ත වූ යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ අදහස ක්‍රියාත්මක කරන බවද ඇය පවසා සිටියි.
මේ අතරම බ්‍රිතාන්‍යයේ විපක්ෂය වන කම්කරු පක්ෂයේ නායකත්වය සඳහාද කාන්තාවක තේරී පත්වීමේ වැඩි අවස්ථාවක් පවතින බවත් විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කළේය. ඒ අනුව වර්තමාන විපක්ෂනායක ජෙරමි කෝර්බින් එම ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට ඇන්ජෙලා ඊගල් පත්වීමට නියමිතව තිබේ. මේ තත්ත්වයත් සමගම බ්‍රිතාන්‍යයේ රජ කිරීටය තුළ මෙන්ම ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුව තුළත් ප්‍රධාන තනතුරු සඳහා කාන්තාවන් තේරී පත්වූ අතිශය දුර්ලභ අවස්ථාවක් බවටද මෙය පත්ව ඇත.