රජය මඟින් සහනාධාර යටතේ ලබාදෙන පොහොර අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇති බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඒ පිළිබඳව සවිස්තරව මාධ්‍ය දැනුවත් කිරීම එළැඹෙන 21 දි සිදුකරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.
මේ අතර පොහොර වෙළඳපලේ අලෙවි කළ හැකි උපරිම මිල සඳහන් කර ගැසට් පත්‍රයක් වහාම ප්‍රකාශයට පත් කරන ලෙස කෘෂිකර්ම ලේකම්වරයාට උපදෙස් දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය.
රජයට අයත් කොමර්ෂල් පොහොර සමාගමේ සහ ලක්පොහොර සමාගමේ අද දින පෙරවරුවේ (18) නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අමාත්‍යවරයා මේ වන විට එම සමාගම විසින් පොහොර බෙදාහැරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග විමසීමට ලක් කළේ ය.
ඒ අනුව මේ වන විට කොමර්ෂල් පොහොර සමාගම සතුව යූරියා පොහොර මෙ.ටො. 25,841 ක්, TSP පොහොර මෙ.ටො. 2,96,350 ක්, MOP පොහොර මෙ.ටො. 7,54,000 ක් වශයෙන් ගබඩා කර තිබෙන අතර ප්‍රාදේශීය ගබඩා සතුව මෙ.ටො. 14,250 ක පොහොර තොග තිබෙන බව එම සමාගමේ කලමනාකාරීත්වය අමාත්‍යවරයාට දැනුම් දුන්නේ ය.
මේ හැර අද දින තවත් පොහොර මෙ.ටො. 996 ක් ද, මේ මස 22 වන දින තවත් පොහොර මෙ.ටො. 742 ක් ද, 27 වන දින තවත් පොහොර මෙ.ටො. 4,637 ක් පමණ ද,මැයි මාසය අවසන් වන විට තවත් මෙ.ටො. 3,950 ක් සහ ලබන ජුනි 15 වන දින පොහොර මෙ.ටො. 5,800 ක් ද ලැබීමට නියමිත ය.
මෙවර යල කන්නය සඳහා කොමර්ෂල් පොහොර සමාගම මඟින් ආනයනය කරන ලද පොහොර ප්‍රමාණය මෙ.ටො. 22,125 කි.ඒ අනුව හිඟයකින් තොරව පොහොර ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කලමනාකාරීත්වයට දැනුම් දුන්නේ ය.ෙ
හිතුමතේ විවිධ මිල ගණන් යටතේ පොහොර අලෙවි කිරීමට කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් මෙහෙයවන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දී ඇති බවත්, ඒ නිසා වැඩි මිලට පොහොර අලෙවිකරන්නන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ද අමාත්‍යවරයා එම සමාගම් වලට උපදෙස් දුන්නේ ය.