සංවර්ධිත ආර්ථිකයන්ගේ දළ ජාතික ආදායමෙන් (GNI) 0.7%ක් සංවර්ධනය වන රටවලට ලබාදීමට දුන් පොරොන්දුව ඉටුනොවීම කනස්සලු සහගත බවත්, පොරොන්දු දෙන්නේ ඉටු කිරීමට මිස හුදෙක් ආකර්ෂණීය ශීර්ෂ පාඨ සඳහා යොදාගැනීමට නොවන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා G77 කණ්ඩායමේ සහ චීනයේ 50 වැනි සාංවත්සරික සමරු රාජ්‍ය හා ආණ්ඩු නායක සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා සිටියේ, “සංවර්ධනය වන රටවල් බොහොමයක් සංවර්ධිත රටවල් අතළොස්සකින් ලැබෙන නිල සංවර්ධන ආධාර මත තවදුරටත් රඳා නොපවතින ලෝකයක අප අද ජීවත් වෙනවා. අපේ සාමාජිකයන්ගෙන් ඇතැමෙක් උතුරේ රටවලට සම කළ හැකි සංවර්ධනයක් අත්කර ගෙන තිබෙනවා. සෙසු ජාතීන් සිය ආර්ථිකයන් වැඩි දියුණු කර ගැනීමේ ලෝකයේ ප්‍රධාන ක්රියාකාරිකයන් බවට පත්ව සිටිනවා.
ලෝකයේ කාර්මික නිමැවුමෙන් 40%ක් උත්පාදනය කරන්නේ අපේ සාමාජිකයන් දෙදෙනෙකු වන ඉන්දියාව සහ චීනය බව අපට ආඩම්බරයෙන් කිව හැකියි. කණ්ඩායමේ ඇතැම් සාමාජිකයන් අත්කරගත් ආර්ථික ප්‍රගතිය නිසා සංවර්ධනය වන ලෝකයේ දසලක්ෂ සංඛ්‍යාත පිරිස් දිළිඳුකමේ ප්රවාහයෙන් එතෙර වී සිටිනවා.
දකුණේ රටවල සාක්ෂරතා මට්ටම්, සෞඛ්‍ය සේවා සහ රැකියා ඉඩ ප්රස්ථා වැඩි දියුණු වී තිබෙනවා. 77 කණ්ඩායමේ රටවල විදේශ මූල්‍ය සංචිත වාර්තාගත මට්ටම්වලට ළඟා වී සිටිනවා. මෑතකදී ඇති වූ අවපාතයේදී බොහෝ සංවර්ධිත රටවල ආර්ථිකයන් පවත්වා ගත හැකි වූයේ සංවර්ධනය වන රටවල් භාණ්ඩ හා කාර්මික නිෂ්පාදන සඳහා වෙළෙඳ පොළ සහ ණය සපයා දීම නිසයි. මේ හවුල්කාරිත්වය කාර්යක්ෂමව කළමණාකරණය කළ හැකි නම් උතුරු දකුණු දෙපාර්ශ්වයටම ඵලදායක වනු ඇති.
එසේ වුවත් සංවර්ධිත ආර්ථිකයන්ගේ දළ ජාතික ආදායමෙන් (GNI) 0.7%ක් සංවර්ධනය වන රටවලට ලබා දීමට දුන් පොරොන්දුව ඉටුනොවීම කනස්සලු සහගතයි. එය සිදු වූයේ නම් බොහෝ දියුණු වන රටවලට දිළිඳුකම ජයගෙන වඩා පිළිගත හැකි සංවර්ධන මට්ටමකට ළඟා වීමට ඉඩ තිබුණා. පොරොන්දු දෙනුයේ ඉටු කිරීමට මිස හුදෙක් ආකර්ෂණීය ශීර්ෂ පාඨ සඳහා යොදා ගැනීමට නොවෙයි.” යනුවෙනි.