ලෝකයේ දැනට භාවිත කරන සූර්ය හා සුළං බලශක්තිය වැනි පූනර්ජනනීය බලශක්තීන්ගේ තුන්ගුණයක පමණ වර්ධනයක් අවශ්‍ය බව කාලගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ නවතම වර්තාවක් පෙන්වා දෙයි.
එම වාර්තාව වැඩිදුටත් පෙන්වා දෙන්නේ, දැනට පවතින කාබන් විමෝචනය වර්ධනය වීම ආපසු හැරවීම සඳහා ගතහැකි හොඳම විසඳුම නම්, මෙකී පුනර්ජනනීය බලශක්ති වෙත දැවැන්ත හැරවුමක් සිදු කිරීමයි.
එම දැවැන්ත හැරවුමේදී ඉහළ කාබන් ප්‍රතිශතයක් ඇති මූලාශ්‍රවලට විකල්පයක් ලෙස ස්වභාවික වායූන් වෙත යොමුවීමේ වැදගත්කමද එම වාර්තාව පෙන්වා දෙයි.
ජර්මනියේ, බර්ලීන් නගරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මෙම වාර්තාව එළිදක්වා තිබේ.
මෙම හැරවුම් ලක්ෂය වෙත ලෝකය ගමන් නොකළහොත්, 2030 දී ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කින් ඉහළ යා හැකි බවට එම වාර්තාව අනතුරු අඟවා තිබේ. එවැනි ගෝලීය උෂ්ණත්ව ඉහළ යෑමක් අතිශය අවදානමක් බවද එහිදී පෙන්වා දී තිබේ.
ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් මෙම වාර්තාව සකස් කර තිබෙන්නේ, කාලගුණික විපර්යාසයන්ට එරෙහිව කටයුතු කරන්නේ කෙසේද යන්න රජයයන් හා සංවිධාන දැනුම්වත් කිරීමේ අරමුණෙනි.