පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සිදු වූ ගැටුම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පහරකෑමට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා රෝහල් පොලීසියට ලබා දී තිබෙන කටඋත්තර මත මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවද වාර්තාවේ.
මේ අනුව ඊයේ දිනයේ (04දා) මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් පමණ පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
මීට අමතරව කථානායක කරු ජයසූරිය මහතාගේ අවසරය මත කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සිදු වූ ස්ථානය නිරීක්ෂණය කර කරුණු සටහන් කරගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතා අද (05දා) පොලීසියට වාර්තාවක් බාරදීමට නියමිත අතර, මීට අමතරව තුවාලකරුවෙකු රෝහල්ගත වී සිටින නිසා සිද්ධියට සම්බන්ධ මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කථානායක කරු ජයසූරිය මහතාගෙන් පොලීසිය ඉල්ලීමක් කිරීමටද ඉඩඇති බවද වාර්තාවේ.
එම ඉල්ලීමට අනුව අත්අඩංගුවට ගැනීමට අවසර ලැබුණහොත් සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන මහජන නියෝජිතයන් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇත.
මේ අතර, පාර්ලිමේන්තු සභා ගර්භය මධ්‍යයේ මන්ත්‍රීවරුන් අතර සිදු වූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට එරෙහිව උපරිම විනය ක්‍රියාමාර්ග ගත යුතු බව සිද්ධිය සම්බන්ධයෙන් කථානායකවරයාට ඉදිරිපත්ව ඇති කමිටු නිර්දේශ වාර්තාවේ අවධාරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇතැම් මන්ත්‍රීවරුන් දිගින් දිගටම පාර්ලිමේන්තු සභා කටයුතු පැවැත්වෙන අවස්ථාවල සභා ගර්භය මධ්‍යයට පැමිණ බාධා කිරීම් සිදුකරනු දක්නට ලැබෙන බවත්, ඒ අනුව ඉහත කී නියෝජ්‍ය අමාත්‍යවරයාට හා මන්ත්‍රීවරයාට එරෙහි තීන්දු, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම් යෙදෙන අද (05දා) දිනයෙන් පසුව එළඹෙන ප්‍රථම පාර්ලිමේන්තු දිනයේම ගතයුතු බවත් එම වාර්තාවේ සඳහන්ව ඇතැයි දැක්වෙයි.
පාර්ලිමේන්තුවට හා මූලාසනයට අගෞරව වන පරිදි දෝෂාරෝපණය කිරීම හා අසැබි වචන භාවිත කළ මන්ත්‍රීවරුන් සම්බන්ධවද දැඩි විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට එම වාර්තාවෙන් පෙන්වා දී ඇතැයිද විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම, ගැටුම සිදුවන අවස්ථාවේ පියල් නිශාන්ත, බන්දුල ගුණවර්ධන හා දිනේෂ් ගුණවර්ධන යන මන්ත්‍රීවරුන් මුලසුන වෙත ගොස් බැණ වැදීම කිසිසේත් මන්ත්‍රීවරුන්ට උචිත නොවන තත්ත්වයක් බවත්, මේ සම්බන්ධයෙන් වූ වගකීම් අදාළ පක්ෂ නායකයන් විසින් බාරගත යුතු බවත් එම නිර්දේශ කමිටු වාර්තාවේ සඳහන්ව ඇති බවත්, දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරුන්ට තදින් අවවාද කළ යුතු බවට අවධාරණය කර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.
කෙසේවෙතත් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් අතර ඇති වූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තාව සලකා බලා මන්ත්‍රීවරුන් පිළිබඳ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා අද (05දා) පෙරවරු 9.00 ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් කැඳවීමට නියමිත බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.
කථානායකවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) මේ බව පවසා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පවත්වන ලද විමර්ශනයේ මූලික වාර්තාවක් ඒ සඳහා පත්කළ කමිටු ප්‍රධානීන් විසින් ඊයේ දහවල් ඔහු වෙත බාරදීමෙන් අනතුරුවය.
පෙරේදා (03දා) ඇති වූ එම නොසන්සුන්තාව හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු තාවකාලිකව අත්හිටු වූ කථානායකවරයා පාර්ලිමේන්තු කාරක සභාවේ විශේෂ රැස්වීමක් කැඳවූ අතර, එහිදී නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාගෙන් හා නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෛකලනාදන් මහතාගෙන් සැදුම්ලත් කමිටුව වෙත උපදෙස් ලබාදුන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් තමා වෙත ඉදිරිපත් කරන ලෙසයි.
ඉන්දික හේවාවිතාරණ / නිදර්ශනී වික්‍රමසිංහ