එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වන බව, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීයි.
"පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වෙන්නේ මගේ අමාත්‍යංශයේ හෝ රජයේ වැරැද්දක් නිසා නෙවෙයි. ඔබ හැම කෙනෙක්ම දන්නවා කොට්ඨාශ සීමා නීර්ණයේ පවතින ගැටළු නිසා, අභියාචනා කමිටුවක් පත්කරලා නැවත ඒ පිළිබඳව විමර්ශනය කරන්න මට සිදුවුණා. මොකද කිසිම දේශපාලන පක්ෂයක් මේ තියන සීමානීර්ණය අනුව මැතිවරණයකට යන්න කැමති නෑ. එම නිසා සියළුම දේශපාලන පක්ෂ එක්ක කථාකරලා කොට්ඨාශ සීමානීර්ණයේ ගැටළු විසඳන්න අභියාචනා කමිටුවක් හරහා සිදුවන ක්‍රියාවලිය තවම අවසන් වෙලා නැහැ.
ඒක අවසන් වෙන්නේ නැතිව මැතිවරණයකට යන්න බැහැ. කොහොම වුනත් ඒ කටයුතු කඩිනමින් අවසන් කරලා, ලබන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වන්න මම කටයුතු කරනවා. සමහරු චෝදනා කරනවා බයට මැතිවරණය පවත්වන්නේ නෑ කියලා. මම කියන්න කැමතියි, මහින්ද රාජපක්ෂ පරාජය කරපු ජනාධිපතිතුමාට මේ පළාත් පාලන මැතිරණය අභියෝගයක් නෙවෙයි."