පළමු ශ්‍රේණියේ සිට ජීවන කුසලතා නමින් නව විෂයයක් හඳුන්වාදෙමින් ළමයින්ට අවශ්‍ය ලිංගික අධ්‍යාපනයද ක්‍රමානුකූලව ඊට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කළාය.
ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඇය සඳහන් කළාය.
ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නම් දරුවන්ට ඔවුන්ගේ ශරීරය, ලිංගිකත්වය සහ ආරක්ෂාව පිළිබඳ දැනුම ලබාදීම අත්‍යවශ්‍ය බවත්, ලිංගික අධ්‍යාපනය පළමු ශ්‍රේණියට ඇතුළත් කළ නොහැකි බැවින් ජීවන කුසලතා නමින් එය ප්‍රාථමික පංති වෙත හඳුන්වාදීමට කටයුතු කරන බවත් ඇය පැවසුවාය.
'ශරීරය පිළිබඳව, එහි ස්වභාවය, ශරීරයේ ආරක්ෂාව මෙන්ම නිසි වයසට එළඹි ළමුන්ට ලිංගික අධ්‍යාපනය හා සම්බන්ධතා ගැනත් අධ්‍යාපනයක් දෙන්න මේ විෂය ඇතුළත් කොට තිබෙනවා. මේ දැනුම පාසල් විෂය මාලාවට ඇතුළත් කරන්න පුළුවන් වුණොත් ඒ හරහා ළමයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න හැකි වෙයි කියලා අපි හිතනවා. පළමු ශ්‍රේණියේ සිට ටිකෙන් ටික තමුන්ගේ ශරීරය ගැන, ඒ වගේම ජීවන කුසලතා ගැන, ඒ කියන්නේ එදිනෙදා ජීවිතයේ ඇතිවන ප්‍රශ්න, ගැටලු කොහොමද විසඳන්නේ? අනෙක් අයගේ ගැටලු ගැන කුමන ආකාරයකටද බලන්නේ? වැනි ධනාත්මකව ජීවිතයට මුහුණ දෙන ආකාරය අප විසින් වර්ධනය කළ යුතුව තිබෙනවා.
බොහෝ විට දරුවන් නොදැනුවත්කම හේතුවෙන් ස්පර්ශයන් ඔස්සේ අපයෝජනයට ලක්වන අවස්ථා වැඩියි. එවැනි පරිසරයක ශරීරය සහ අතවර අතර පවතින සම්බන්ධතාව දරුවන්ට වටහා දීම වැදගත්. නොදැනුවත්කම වගේම වැඩිහිටියන් හා දරුවන් අතර විවෘත සාකච්ඡාවක් ඇති නොවීම මේ තත්ත්වයට බලපා තිබෙනවා. අපි සෑමවිටම දෙමවුපියන් සහ වැඩිහිටියන්ට උපදෙස් දෙන්නේ ළමයා සමග ශරීරය හා සම්බන්ධ කරුණු සාකච්ඡා කරන ලෙසයි' යැයි නටාෂා බාලේන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.