පක්ෂ මාරු කිරීමට සිදුවන තැනට කටයුතු කරන්න එපා
තමාට පක්ෂ මාරු කිරීමට සිදුවන තැනට කටයුතු නොකරන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා සිටින බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
පක්ෂයේ නායකයන් සහ ඇමතිවරුන් පිරිසක් එක්ව තමාව එළියට ඇද දැමීමට කටයුතු කරමින් සිටින බව පැවසූ ප්‍රධාන අමාත්‍යවරයා, හැකි නම් තමාව පක්ෂයෙන් එළියට ඇද දමා පෙන්වන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවද කියා සිටියේය.
මිනුවන්ගොඩ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍ය බල මණ්ඩල රැස්වීම ඉකුත්දා (28දා) පැවති අවස්ථාවේදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා,
'මම තනතුරෙන් ඉවත් කරන්න බෑ. මම නඩු ගිහින් තියෙන්නෙ. පළාත් සභාවේ මන්ත්‍රීවරු බහුතරයක් කියනවා නම් අයින් වෙන්න කියලා ඕන කෙනෙකුට බාරදීලා යන්න මම සූදානම්. මහ ඇමතිකම දාලා යන්න වෙන බව දැනගෙනයි මේ වැඩේට බැස්සෙ. හෙට මේ තනතුර නැති වුණත් බස් එකේ හරි, කෝච්චියේ හරි මට යන්න පුළුවන්. මම ගරු කරන්නෙ ජනතාවගේ මතයට පමණයි. අපේ අගමැතිවරයෙක් පත්කරගන්න නායකයෝ එකතු වෙලා වැඩ කරන්න ඕන. ඕන කොන්දේසියක් දාන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපිට ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්. අපි සමග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 75 කට වඩා කතා කරගෙන යනවා. පළාත් සභා මන්ත්‍රීවරු 80% කට වඩා ඉන්නවා. ඔය තනතුරු අයින් කරනවා කිව්වට අපි බය වෙන්නෑ.
අපි පිළිගන්නවා මහින්ද රාජපක්ෂගේ වැරදි තිබුණා. වැරදි කරපු අයට දඬුවම් දුන්නෑ. සමහර ඇමතිවරු කරපු දේවල් නිසයි එතුමා පරාද වුණේ. ඒ අය තමයි අද මහින්ද රාජපක්ෂට විරුද්ධව කතා කරන්නෙ. අපේ පක්ෂයෙ නායකයො ඇමතිගොල්ලෝ මාව එළියට දාන්න සූදානමින් කටයුතු කරනවා. පුළුවන් නම් ඒ දේ කරන්න. මම ඔහොම නෙමේ කොහොම කළත් දැන් ඉන්න ස්ථාවරයේ ඉන්නවා. අපි මේ දක්වා පක්ෂය මාරු කළේ නෑ. අපිට තත්ත්වයක් එහෙම උදා කරන්න එපා කියලා අපේ පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා සිටිනවා' යැයි පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

