ධීවර සාකච්ඡාවලින් පසුවත් ශ්‍රී ලංකා නාවික හමුදාව තමිල්නාඩු ධීවරයන්ට එරෙහිව ක්‍රියාකරන්නේ දැඩි දුර්විපාක නොලැබූ ආකාරයෙන් බවත්, දූපත්වාසී නාවික හමුදාවේ එදිරිවාදී ක්‍රියාකලාපය තවදුරටත් වර්ධනය වන බවත් පවසමින් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් චෝදනා කර ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තමිල්නාඩු ධීවරයන් 29 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පවසා ඉන්දිය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා වෙත ලිපියක් යවමින් ඇය පෙන්වාදි ඇත්තේ, තමිල්නාඩුවේ වෙරළාශ්‍රිත ප්‍රදේශවල සිට පෝක් සමුද්‍රසන්ධිය ආශ්රිත මුහුදු කලාපයේ පාරම්පරිකව ධීවර කර්මාන්තයේ යෙදෙමින් තම ජීවිකාව සරිකර ගන්නා තමිල්නාඩු ධීවරටයන්ට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ වනවිට බලවත් බාධාකිරීමක් සිදුකරන බවයි.
පෙබරවාරි 14 වැනිදා දින දරමින් අග්‍රාමාත්‍යවරයා වෙත ඇය යවා ඇති ලිපියේ දැක්වෙන්නේ, ඔවුන් මුහුදු යන සෑම අවස්ථාවකම තමන්ව අල්ලාගනු ඇත්ද යන්නට අමතරව, තමන්වෙත එල්ලවිය හැකි ප්‍රහාර සහ හිරිහැර සම්බන්ධයෙන් තමිල්නාඩු ධීවරයන් බලවත් වූ සැකයකින් පසුවන බවයි. මෙම ලිපිය ඉන්දීය රජය විසින් අද (15දා) මාධ්‍ය වෙත නිකුත් කොට තිබේ.
දෙරටේ රජයන්හි සහාය ඇතිව තමිල්නාඩු ධීවරයන් හා ශ්‍රී ලංකාව අතර පවතින ධීවර ගැටලුව විසඳා ගැනීම වෙනුවෙන් අන්‍යෝන්‍ය අවබෝධතාවයෙන් යුතු එකඟත්වයකට පැමිණීම සඳහා ධනාත්මක පියවරක් තබමින් මෑතකදී චෙන්නායි නුවරදී පැවත්වුණු ධීවර මට්ටමේ සාකච්ඡාවලින් පසුවත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ එදිරිවාදී ක්‍රියාකලාපය තවදුරටත් වර්ධනය කිරීම බලවත් හිත්වේදනාවක් ඇති කරනවා යැයි මහ ඇමතිනිය එම ලිපියේ සඳහන් කර ඇත.
නැවත නැවත සිදුවන පහරදීම්, අල්ලාගැනීම් හා නීතිවිරෝධී ලෙස සිර අඩස්සියේ තබාගැනීම්වලට එරෙහිව බලවත් රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නොමැති බවට ඇය ඉන්දීය මධ්‍යම රජයට මෙහිදී චෝදනා නගා ඇති බවද හින්දු පුවත්පත පෙන්වාදෙයි.
එමෙන්ම, දැනට ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසුවන ධීවරයන් හා ඔවුන්ගේ බෝට්ටු නිදහස් කරගැනීම වෙනුවෙන් මන්මෝහන් සිං මහතා පෞද්ගලිකවම මැදිහත් වී ඉහළ රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ගයක් ගත යුතු බවද ඇයගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන බව හින්දු පුවත්පත පවසයි.