අල් ජසීරා මාධ්‍ය ආයතනය ඉදිරිපත් කළ ගවේශනාත්මක වාර්තා වැඩසටහනේදී තරග පාවාදීමට අදාළව නම් හෙළිදරව් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් තිදෙනෙකුගේ සේවය අත්හිටුවීමට 'ශ්‍රී ලංකා ක්‍රිකට්' ආයතනය ඊයේ (28දා) පියවර ගෙන තිබුණි.
ඒ අනුව ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහය කළමනාකරු තරංග ඉන්දික, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධව පුහුණුකරුවන් ලෙස කටයුතු කරන තරිඳු මෙන්ඩිස් සහ ජීවන්ත කුලතුංග යන අයගේ සේවය අත්හිටුවා තිබේ.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ 2016 වසරේ පැවැති ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේදී තණතිල්ල දඟපන්දු යවන්නන්ට වාසිදායක අයුරින් සැකසීම සම්බන්ධයෙන් අල් ජසීරා නාළිකාව සිදුකළ හෙළිදරව්වට කොළඹ රහස් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද ඊයේ (28දා) ඒ සම්බන්ධව පත්කළ විශේෂ කමිටුව පියවර ගෙන තිබුණි.