ශ්‍රී ලාංකික පාසල් ශිෂ්‍ය ප්‍රජාව අතර ඩෙංගු රෝගය පැතිර යෑම වැළැක්වීම සඳහා නිර්මාණශීලී ජංගම දුරකථන යෙදුමක් (Mobile app) හඳුන්වාදීම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ (27දා) සිදු කෙරිණි.
'ඩෙංගු රෝගයෙන් මිදුණු දරුවෙක්' (DengueFreeChild) නමින් මෙම යෙදුම නිර්මාණය කර ඇති අතර, අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, කොළඹ විශ්වවිද්‍යාලය, සිංගප්පූරුවේ Nanvang තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ මොබිටෙල් ශ්‍රී ලංකා ආයතනය ඒකාබද්ධව එය නිර්මාණය කර තිබේ.
මෙම යෙදුම මගින් වඩාත් ක්‍රියාකාරී ලෙස ඩෙංගු රෝගය සහ සැකකටයුතු ආකාරයෙන් පවතින උණ තත්ත්වයන් වාර්තා කිරීමේ හැකියාව භාවිත කරන්නන්ට ලබා දී ඇති අතර, ඒ ඔස්සේ ආසාදිත ප්‍රදේශ වෙත ගොස් අදාළ ක්‍රියාමාර්ග ගැනීමටත්, මදුරුවන් බිත්තර දමන සහ මදුරු කීටයන් වාසය කරන ස්ථාන විනාශ කිරීමටත් හැකියාව තිබේ.
මෙම තොරතුරු භාවිතයෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින ප්‍රදේශවල සිටින දරුවන් සහ දෙමාපියන් ඒ පිළිබඳ දැනුවත් කරමින් ඩෙංගු රෝග ලක්ෂණ ඔවුන්ගෙන් දිස්වන්නේදැයි අවධානයෙන් සිටින ලෙසට ඔවුන්ට දැනුම්දිය හැකි වෙයි.
සෞඛ්යඅමාත්යාංශයේ ජාතික ඩෙංගු රෝග පාලන ඒකකය මගින් රැස්කරන ලද දත්තවලට අනුව 2017 වසරේ ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් පැමිණි සියලුම රෝගීන්ගෙන් 30% ප්‍රතිශතයක් දරුවෝ වෙති. ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති පාසල් 10,000ක ආසන්න වශයෙන් දරුවන් මිලියන 4.4ක් අධ්‍යාපනය ලබති. උදය කාලයේදී ඩෙංගු මදුරුවා සක්‍රිය වන බැවින් දරුවන් ආරක්ෂා කිරීමට විධිමත් වැඩපිළිවෙළක් දියත් කිරීමේ අවශ්‍යතාව පැවැති බව ජාතික ඩෙංගු රෝග පාලන ඒකකයේ ජාතික සම්බන්ධීකරණ නිලධාරී වෛද්‍ය හසිත තිසේරා මහතා ප්‍රකාශ කරයි.
2018 වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 13,479ක් වාර්තා වී ඇති අතර, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. 2017 වසරේ ගත වූ මාස 02 තුළ හමු වූ රෝගීන් ප්‍රමාණය 33,191කි. පසුගිය වසර හා සැසඳීමේදී එය 50%ක අඩුවීමකි.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිරි සිරිසේන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් සරත් අමුණුගම, ජාතික ඩෙංගු රෝග පාලන ඒකකයේ ජාතික සම්බන්ධීකරණ නිලධාරී වෛද්‍ය හසිත තිසේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.