ජාතික කොඩිය වෙනුවට වෙනත් කොඩියක් නිර්මාණය කිරීමට රජය සූදානම් වන බවට විමල් විරවංශ මහතා ප්‍රකාශ කළත්, යෝජනා වී තිබෙන්නේ සැරසිල්ලක් ලෙස ජාතික කොඩිය භාවිත කිරීම වැළැක්වීම සඳහා විකල්ප කොඩියක් හඳුන්වාදීමේ යෝජනාවක් බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මීට අමතරව ජාතික කොඩිය අගෞරව වන ආකාරයට භාවිත කිරීම හා කොඩිය විකෘති කර නිෂ්පාදනය කරන බවට පැමිණිලි ලැබී තිබීම නිසා එය විධිමත් කිරීමට නීතිමාලවක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.
සැරසිල්ලක් ලෙස ජාතික කොඩිය භාවිත නොකළ යුතුය යන්න යෝජනාවක් ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුවත්, එම යෝජනාවට කැබිනට් මණ්ඩලය විකල්ප යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බවද එම නිවේදනය මගින් පෙන්වා දී ඇත.
මෙම විකල්ප යෝජනාවට අනුව සැරසිලි සඳහා ජාතික කොඩිය භාවිත නොකර අදාළ උත්සව අවස්ථාවට ගැළපෙන වෙනත් කොඩියක් භාවිත කළ යුතු බවට යෝජනා වී තිබෙන බවත්, ඒ පිළිබඳව අනවබෝධයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ජාතික කොඩිය වෙනුවට වෙනත් කොඩියක් නිර්මාණය කරන බවට ප්‍රකාශ කරන බවද එම නිවේදනය මගින් පෙන්වා දී ඇත.
ජාතික කොඩිය භාවිත කිරීමේදී සහ නිෂ්පාදනය කිරීමේදී අනුගමනය කළ යුතු නීති මාලාව නීති කෙටුම්පත් සම්පාදකයන් වෙත යොමුකර තිබෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.