(UPDATE) බටහිර ජර්මනියේ සිනමා ශාලාවක් තුළ වෙඩි පහර කිහිපයක් එල්ල කළේ යැයි පැවසෙන මුහුණ ආවරණය කරගත් පුද්ගලයා විශේෂ පොලිස් ඒකකයේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජර්මනියේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් බූත් පවසන්නේ ෆ්රැන්ක්ෆර්ට් නගරයට ආසන්න, වියර්න්හෙයිම් හි කිනෝපොලිස් වෙළෙඳ සංකීර්ණයේ වූ සිනමා ශාලාවක වෙඩි ප්‍රහාරයක් එල්ල වන බවට හදිසි ඇමතුමක් ලැබීමත් සමග ආරක්ෂක අංශ ඒ වෙත යුහුසුළුව පැමිණි බවයි.
"පොලිස් විශේෂ බලකාය විශ්වාස කළේ එම පුද්ගලයා සිනමා ශාලාව තුළ සිටින පිරිස් ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටින බවයි. මේ තත්ත්වය තුළ ඔහු වෙඩි තැබීමක් සිදුව තිබෙනවා" යැයි අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසා සිටියේය.
කෙසේ වෙතත්, මෙම වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුත් තුවාල ලබා නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එනමුදු, ප්‍රහාරකයා මැඬපැවැත්වීම සඳහා සිනමා ශාලාවට ඇතුළු වීමට පෙර ආරක්ෂක අංශ එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් එහි තුළ වූ පිරිස් යම් පීඩාවකට ලක්ව ඇති බව ජර්මානු මාධ්‍ය පැවසීය.
ඊයේ (23දා) සවස සිදුවූ මෙම සිදුවීමත් සමග එම වෙළෙඳ සංකීර්ණය අවට දැඩි රැකවල් යොදා තිබෙන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය දේශපාලනික හෝ යම් අන්තවාදී ක්‍රියාවක්ද යන්න පැහැදිලි නැති බවත්, එසේ නැත්නම් මෙය මංකොල්ලයක්ද යන්න සොයාබලමින් සිටින බවද ජර්මානු මාධ්‍ය වැඩිදුරටත් පැවසීය.
ජර්මනියේ සිනමා ශාලාවකදී මුහුණු ආවරණය කරගත් පුද්ගලයෙකු වෙඩි තැබීමක් සිදුකර තිබේ.
මරාගෙන මැරෙන බෝම්බ බඳ පටියක් පැළඳි තුවක්කුකරුවෙකු සිනමා ශාලාවට ඇතුළු වී පිරිසක් ප්‍රාණ ඇපයේ රඳවා ගැනීමට උත්සාහ ගෙන ඇති බවත්, පසුව විශේෂ බලකාය සිදුකළ වෙඩි තැබීමකින් ඔහු ජීවිතක්ෂයට පත්වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට පෙර රොයිටර් පුවත් සේවය පවසා සිටියේ ඔහු සිදුකළ විවෘත වෙඩි තැබීමෙන් පුද්ගලයන් 20 ත් 50ත් අතර පිරිසක් තුවාල ලබා ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම සිදුවීමේදී යම් පිරිසක් පීඩාවට පත්ව තිබුණත්, එය වෙඩි තැබීමකින් සිදුවූයේද, නැත්නම් විශේෂ බලකාය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයකින් සිදුවූයේද යන්න පැහැදිලි නොවුණි.