පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමට එංගලන්තයට ගොස් සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත දිවයිනට පැමිණි වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වෙනු ඇතැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
කොළඹදී අද (17දා) මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,
“මධ්‍යම කාරක සභාව (ශ්‍රී ලංකා නිදහස් පක්ෂ) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණිවිට රැස්වෙයි කියලා හිතනවා. එහිදී අපි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතුයි කියලා. මොකද අගමැතිවරයාට 122ක් තියෙනවා.
ඔහුට තනියෙන් ආණ්ඩුව කරගෙන යන්න පුළුවන්. මොකටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඕකේ බෝඩ් ලෑල්ලක් ලෙස ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කතා කරන, එක්සත් ජාතික පක්ෂයට කඩේ යන්නේ නැති මහලේකම්වරයෙකු හා තවත් මහලේකම්වරයෙකු අපට අවශ්‍ය වී තියෙනවා.”