විවිධාකාර චෝදනා මත පොලීසිය සිදුකරන විමර්ශන මගින් තමන් අත්අඩංගුවට ගැනීමේ තැතක් ඇති බැවින් එලෙස අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
මෙම පෙත්සමින් කැබිනට් මණ්ඩලයට අයත් අමාත්‍යවරුන්, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පුද්ගලයන් 45 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කොට ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් තමාව පදනම් විරහිත චෝදනා මත අත්අඩංගුවට පත්විය හැකි බවත්, එබැවින් තමාගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීම අපේක්ෂා කරන බවත් පෙත්සම්කරු සිය පෙත්සමින් දක්වා ඇත.