එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා මැතිවරණ සමයේදී කටයුතු කරන ආකාරය පිළිබඳ දස වැදෑරුම් ප්‍රතිඥාවක් මහනුවර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ඉදිරියේදී ලබාදුන්නේය.
ඊයේ (10දා) දිනයේ සිදුකළ මෙම කටයුත්තෙන් පසු මල්වතු, අස්ගිරි මහනායක හිමිවරුන්ගෙන්ද ආශිර්වාද ලබාගැනීමට උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.
ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ඉදිරියේ කණ්ඩායම් නායකයා ලබාදී තිබෙන දස වැදෑරුම් ප්‍රතිඥා වන්නේ,
01. පෝස්ටර්, පොලිතින් සහ රතිඤ්ඤා භාවිතයෙන් වැළකී සිටීම
02. රාජ්‍ය දේපළ භාවිතයෙන් වැළකී සිටීම
03. මැතිවරණ නීතිවලට ගරු කිරීම
04. ජනතාවට සත්‍ය පමණක් ප්‍රකාශ කිරීම
05. කිසිම ආකාරයක ප්රචණ්ඩ ක්‍රියාවක් නොකිරීම
06. අනෙකුත් අපේක්ෂකයන් පදනම් විරහිතව විවේචනය කිරීමෙන් වැළකීම
07. අපේක්ෂකයන් අතර ද්වේශය සහ ක්‍රෝධය පැතිරෙන ප්‍රකාශ නොකිරීම
08. විදේශීය රාජ්‍යයන්ගෙන් හෝ රාජ්‍ය නොවන සංවිධානවලින් හෝ අරමුදල් භාර නොගැනීම
09. මැතිවරණ ව්‍යාපාරයේ ආදායම් සහ වියදම් සිය වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීම
10. පළාත් ආණ්ඩුකාරවරයාට වාර්ෂිකව භාරදෙන වත්කම් බැරකම් ප්‍රකාශ සිය වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීම යන ඒවාය.
කණ්ඩායම් නායකයා ලෙස අනෙකුත් අපේක්ෂකයන්ගේ විනය කටයුතු සිදුකළ නොහැකි වුවත්, තමා ක්‍රියාත්මක කරන මෙම කරුණු පිළිබඳ සැලකිලිමත් වන ලෙසත්, හැකි සෑම අවස්ථාවකදීම මෙම ප්‍රතිපත්ති අනුගමනය කරන ලෙස අනෙකුත් අපේක්ෂකයන්ගෙන්ද ඉල්ලා සිටින බවත් උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.