විධායක ජනපති ධුරය අහෝසි කිරීම රටට හිතකරද, නැතිද යන්න පිළිබඳව තමන් සමග විවාදයකට එක්වන ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට අභියෝග කළේය.
අද (28දා) පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“විධායක ජනාධිපති ධqරය අහෝසි කරන්න කලින් ජනතාවට පිළිතුරු බඳින්න කියලා අපි ජවිපෙට ප්‍රශ්න පහක් ඉදිරිපත් කළා. අද වන තුරු ඒවාට පිළිතුරු දීලා නෑ. ඒ වගේම මේ තනතුර අහෝසි කිරීමේ අවදානම පිළිබඳ අපි දිගින් දිගටම කිව්වා. ලිව්වා. ඒත් ඒවා මගහරිමින් කාගේ දෝ කොන්ත්‍රාත්තුවක් ඉටු කරන්න විසිවැනි සංශෝධනය ගෙනැවිත් තිබෙනවා.
ඒ නිසා මම අනුර කුමාර මන්ත්‍රීතුමාට අභියෝග කරනවා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම රටට හිතකරද, නැද්ද කියන කාරණය පිළිබඳ නැත්නම් ඊටත් වඩා සීමාවෙලා විසිවැනි සංශෝධනය ලෙස එතුමන්ලා ගෙන ආ පනත් කෙටුම්පත හිතකරද, අහිතකරද යන කරුණ සම්බන්ධයෙන් මාත් සමග ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා.
ඒ වගේම මේ කෙටුම්පතේ අඩුපාඩු පිරිලා. මම හඳුනාගත් අඩුපාඩු 09ක් තිබෙනවා. හරියට පොඩි එකාගේ ලියුම වගේ. විවාදයක් පැවැත්වුණොත් එකින් එක පැහැදිලි කරන්න පුළුවන්. මේ සංශෝධනය කරන්න යන්නේ රටේ උත්තරීතර නීතිය මිස පොඩි එකාගේ ලිපිය නොවන බව අපි ජවිපෙට මතක් කරනවා.
දැන් ඉතින් මට අපහාස කරලා මගහරින්නේ නැතුව මේ අභියෝගය භාරගන්න. ඔබතුමා ගෙනෙන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ රටම දැනුම්වත් කරන මසුරන් අවස්ථාවක් බවට මේ විවාදය පත් කරගන්න කියා මම අනුර කුමාර මන්ත්‍රීතුමාගෙන් ඉල්ලා සිටිනවා. එතුමා වෙනුවට මේක ඇත්තටම කෙටුම්පත් කළ කෙනාව විවාදයට එවන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එතකොට මේ අපි කියන දේ තේරෙනවා. මොකක්ද මේ අඩුපාඩුව කියන එක තේරෙනවා.
විෂය දන්නා කෙනෙක් එක්ක පවත්වන විවාදය තමයි වඩාත් ගැළපෙන්නේ. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමන් වෙනුවට මේක ඇත්තටම කෙටුම්පත් කරපු කෙනා නීතිඥයෙක්ද කියන ප්‍රශ්නයක් අපිට මතුවෙන නිසා අපි ආසයි කවුද මේ මුහුණ කියන එකත් පොඩ්ඩක් දැකගන්න. ඒ නිසා අපි වඩාත් කැමති අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමන් වෙනුවට මේක ඇත්තටම කෙටුම්පත් කරපු නීති විශාරද මහතා හෝ මහත්මිය විවාදයට එනවා නම්. මොකද අපට එතකොට වඩාත් ඵලදායී විවාදයක් කරල රටට ජනතාවට මේ පිළිබඳ දැනුම්වත් කරන්න පුළුවන්.” යැයි පවසා සිටියේය.