පාර්ලිමේන්තුවේ සිට කොල්ලුපිටිය දක්වා මාර්ගයේ සහ මහරගම නගරය තුළ සිදුකරන නව රථවාහන සැලැස්ම හේතුවෙන් රියදුරන් හා මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබෙන බැවින් එම සැලැස්ම නවතා දැමීමට පොලීසිය සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.
නව රථවාහන සැලැස්ම ක්රියාත්මක කරන කාලය තුළ පාර්ලිමේන්තුවේ සිට කොල්ලුපිටිය දක්වා මාර්ගයේ සහ අවට මාර්ගවල දැඩි වාහන තදබදයක් පවතින බව බස්රථ සහ අනෙකුත් රථවාහන රියදුරෝ සඳහන් කරති.
මීට අමතරව මගී ජනතාවට තම නියමිත ස්ථානයෙන් බස් රථයෙන් බැසගැනීමට නොහැකිවීම නිසා සහ අධික රථවාහන තදබදය නිසා රාජකාරි කටයුතුවලට යන ජනතාවද දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව එම පිරිස් සඳහන් කරති.
කොළඹ සිට මහරගම නගරය පසු කරගෙන යන වාහන සඳහා කොළඹ දෙසට ගමන් කරන මං තීරුවක් ලබාදීම හේතුවෙන් මහරගම නගරය තුළද දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ. මෙහිදී වැඩිම බලපෑම ඇතිවී තිබෙන්නේ කොළඹ දෙසට ගමන් කරන වාහනවලටය.