එල්.ටී.ටී ඊ සංවිධානයේ ප්‍රධාන අවි ආයුධ සැපයුම්කරු ලෙස කටයුතු කළ කුමරන් පත්මනාදන් නොහොත් කේ පී සම්බන්ධ යෙන් වන විධිමත් වාර්තාවක් අධිකරණයට ඉදිරියේ ඉදිරිපත් කිරීමට ඊයේ දින නීතිපති වරයා මාස 06 ක කාලසීමාවක් ඉල්ලා සිටියේය.
නීතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවන මහතා පවසා සිටියේ කේ පී නමැත්තා සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති පෙත්සමේ අවි ආයුධ සැපයීම, මුදල් විශුද්ධිකරණය ආදී බරපතළ චෝදනා 193ක් පමණ ඇතුළත් වන බැවින් ඒවා අධ්‍යනය කිරීමට දීර්ඝ කාලසීමාවක් අවශ්‍ය බවයි. එම චෝදනා විමර්ශනය කර බලා අදාළ පාර්ශ්වයන්ගෙන් උපදෙස් ලබාගෙන නිසි වාර්තාවක් ඉදිරිපත් කිරීමට මාස 06 ක පමණ කාලයක් අවශ්‍ය වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැන්වීය.
ඒ අනුව මෙම පෙත්සම අගොස්තු මස 31 දා යළි කැඳවීමට අභියාචනාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා දින නියම කළේය.
මීට අමතරව කේ පී නමැත්තා රටින් පිටවීම වළක්වාලමින් පැනවූ අතුරු තහනම සැප්තැම්බර් මස (01දා) දක්වා දීර්ඝ කිරීමටද අධිකරණය කටයුතු කළේය.
2009 වර්ෂයේ එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුව එහි නායකත්වයට පැමිණ කේ පී නමැත්තා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මෙම පෙත්සම ගොනු කර තිබුණි.
කිලිනොච්චි ප්‍ර‘දේශයේ රාජ්‍ය නොවන සංවිධානයක සේවය කරන කේ පී නමැත්තා හමුදා ආරක්ෂාව යටතේ සිටින බවත්, ත්රස්තාවාදී චෝදනා සහ අවි ආයුධ සැපයීම ආදී චෝදනා සම්බන්ධයෙන් ඔහුට මේ වනවිට කිසිදු පියවරක් බලධාරීන් විසින් රැගෙන නොමැති බවට පෙත්සම්කරු චෝදනා කර සිටියි.