සිය විවාහ උත්සවය අවස්ථාවේදී කොළඹ තරු පංතියේ හෝටලයක විදුලි සෝපානය තුළ සිරවීමෙන් තමන් අසරණ තත්ත්වයට පත්වීමෙන් තමන්ට සිදුවූ පීඩාව සඳහා රුපියල් ලක්ෂ 50ක වන්දියක් අයකර දෙන දෙන ලෙස ඉල්ලමින් එම හෝටලයට එරෙහිව නීතිඥ වරුණ නානායක්කාර මහතා නඩු පවරා ඇත.
එම නඩුව කොළඹ දිසා විනිසුරු ජයකි අල්විස් මහත්මිය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී එම සිද්ධියට මුහුණපෑ නීතිඥ වරුණ නානායක්කාර මහතා සාක්ෂි දෙමින් මෙසේ පැවැසීය.
'මා සුරේකා ජයසිංහ මහත්මිය සමග විවාහ වීමට තීරණය කළ පසු අපි දෙන්නාගේ විවාහය කොළඹ ........ හෝටලයේ පැවැත්වීමට තීරණය කළා. ඒ අනුව අපි දෙන්නා ........ හෝටලයට පැමිණ එහි නිලධාරීන් සමග සාකච්ඡා කර 2015 ඔක්තෝබර් 22 වැනිදා අපගේ විවාහය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කළා.
අපගේ විවාහය....... හෝටලයේ දසවැනි මහලේ ‘වික්ටෝරියන් බෝල්රූම්’ (Victorian Ballroom) උත්සව ශාලාවේ ගැනීමට අපි දෙන්නා තීරණය කළ පසු මගේ බිරිඳ වන සුරේකා ජයසිංහ මහත්මිය ....... හෝටලයේ නිලධාරීන් සමග ගිවිසුමකට එළැඹුණා. අපේ ආරාධිතයන් 150ක් සඳහා අපි මේ උත්සව ශාලාව වෙන්කර ගත්තා.
2015 ඔක්තෝබර් 22 වැනිදා අපගේ විවාහය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරගත් අතර, එදින රාත්‍රී 7.58ට විවාහයට අත්සන් කිරීමේ නැකත යෙදී තිබුණා.
මෙම විවාහයේදී මුලින් මාත්, ඉන් පසුව මනාලියත් ....... හෝටලයේ දසවැනි මහලේ පිහිටි ‘වික්ටෝරියන් බෝල්රූම්’ (Victorian Ballroom) උත්සව ශාලාවට පැමිණීමට කටයුතු සූදානම් කරගෙන රාත්‍රී 7.45ට පමණ මා ....... හෝටලයේ බිම්මහලේදී අංක 02 විදුලි සෝපානයට නැග්ගා. මා සමග වැඩබලන මහේස්ත්‍රාත්වරියක වන මාගේ මව වන ස්වීනීතා නානායක්කාර මහත්මියත්, මගේ පියා වන විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු වූ චන්දදාස නානායක්කාර මහතාත්, නැටුම් ශිල්පියන් හා කැමරාකරුවන් ඇතුළු 10 දෙනෙකු පමණ එම විදුලි සෝපානයට නැග්ගා.
විදුලි සෝපානය බිම් මහලේ සිට 10 වැනි මහල දක්වා යන අතරතුර 01 සහ 05 වැනි මහල් අතර එකවරම විදුලි සෝපානයෙන් විශාල ශබ්දයක් ඇතිවී විදුලි සෝපානය නතර වුණා. ඒත් එක්කම විදුලි සෝපානය තුළ හොඳට තිබූ විදුලි ආලෝකය ගොඩාක් අඩුවුණා. ඒ වනවිට 68 වැනි වියේ පසුවූ මගේ මව කලබල වී කෑගසන්න පටන් ගත්තා. අපි අපේ ළඟ තිබූ ජංගම දුරකථනවල විදුලි බල්බ දල්වාගෙන විදුලි සෝපානයේ ‘මයික්’ එකෙන් හයියෙන් කෑගසමින් ආධාර ඉල්ලුවත් කිසිවෙකු ඊට පිළිතුරු දුන්නේ නැහැ.
විදුලි සෝපානය තුළ අපි සිරවූ පසු මහත් කම්පනයට පත්වුණා. මේ නිසා මංගල උත්සවය සඳහා ඇඳගෙන සිටි අපේ ඇඳුම් දහඩියෙන් තෙත් වුණා. විනාඩි 10ක් පමණ අපි සියලු දෙනා මෙලෙස විදුලි සෝපානය තුළ හිරවී සිටියා. එසේ සිටියදී විදුලි සෝපානය එකවරම ක්‍රියාත්මක වී ඉහළට ගියා. 10 වැනි මහලේ විදුලි සෝපානය නතර විය යුතු තැනට අඩියක් පමණ උඩට ගොස් විදුලි සෝපානය නතර වුණා.
නියමිත තැන විදුලි සෝපානය නතර නොවීම නිසා ඒ තුළ සිට අපට අඩියක් පමණ උසකින් බිමට පනින්න සිදුවුණා. අසනීප තත්ත්වයෙන් සිටි මගේ මවට හා පියාටද විදුලි සෝපානයෙන් බිමට පනින්න සිදුවුණා. එසේ පැනීමෙන් මවගේ කකුල ඇමට්ටි වුණා. විදුලි සෝපානය තුළ සිරවී මහත් කම්පනයට හා ලැජ්ජාවට පත්ව දහඩියෙන් තෙත්වී සිටි අපි ඉන් එළියට එන විට විශාල පිරිසක් එතැන රැස්වී සිටියා.
මුලින් මනාලයාත්, ඉන් පසුව මනාලියත් 10 වැනි මහලට පැමිණ නැට්ටුවන් පෙරටු කරගෙන මංගල උත්සව ශාලාවට යෑමට සූදානම් කරගෙන සිටියත්, මා එන්න පරක්කු නිසා මගේ බිරිඳත් ඒ වනවිට 10 වැනි මහලට පැමිණ තිබුණා. ඒ වනවිටත් නැකත් වේලාව පසුවී තිබු නිසා කලින් සූදානම් කරගෙන තිබූ චාරිත හා අලංකරණ කටයුතු පසෙක දමා කෙළින්ම ගොස් විවාහ රෙජිස්ට්‍රාර්වරිය ඉදිරියේ අත්සන් කළේ අඩුම තරමින් ප්‍රතිඥා දීමවත් නොකොට.
ඉන් පසු මංගල උත්සවය අවසානයේදී මගේ සහෝදරයා, රියදුරුද සමග මට ලැබුණු තෑගි ආදිය ගෙන යද්දී රාත්‍රී 11.30ට පමණ යළිත් වරක් එම විදුලි සෝපානයේම සිරවුණා. ඉන් අනතුරුව මගේ මව සිදුවූ මේ සිද්ධීන් පිළිබඳ ලිපියක් ලියා රාත්‍රී 12.00ට පමණ ‘කිංස්බරී’ හෝටලයේ අමුත්තන් පිළිගැනීමේ නිලධාරීවරයා සිටි තැනට ගොස් පැමිණිලි කරමින් මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව දැනුම් දුන්නා.
මේ සිදුවීම්වලින් අනතුරුව 2015 දෙසැම්බර් 10 වැනිදා මා කොළඹ 01, ජනාධිපති මාවතේ පිහිටි ....... පී.එල්.සී. සමාගමට එන්තර්වාසියක් යැව්වත් එයට පිළිතුරක් නොලැබුණු නිසා සිහිකැඳවීමක් යැවූ පසුව ඔවුන් මට පිළිතුරු ලිපියක් එව්වා. ඒත් අඩුම තරමින් අපට සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් ඔවුන් කනගාටුව හෝ පළකොට තිබුණේ නැහැ."