යහපාලන ආණ්ඩුවේ දෙවැනි කැබිනට් සංශෝධනයේදී කැපීපෙනෙන වෙනස්කම් රැසක් සිදු කිරීමට එක්සත් ජාතික පක්ෂය යොමුව සිටියි. ඊයේ (22දා) එ.ජා.ප.ය සිය අමාත්‍ය ධුර ලැයිස්තුව ජනාධිපතිවරයාට යොමුකර තිබෙන අතර, එය සංශෝධනය කර නැවත යොමු කරන ලෙස ජනාධිපතිවරයා දන්වා තිබේ. මේ හේතුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (23දා) දිනයේදීද සිදු නොවනු ඇතැයි වාර්තා වේ.
ජ්‍යෙෂ්ඨයන්ගේ විරෝධය
එ.ජා.ප. පාර්ශ්වයේ ඇමති මණ්ඩල සංශෝධනයේදී එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් ඊයේ (22දා) වන විට නිර්මාණය වෙමින් තිබිණි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කිහිප දෙනෙකුට අමාත්‍ය තනතුරුවලින් ඉවත් වන ලෙස පක්ෂ නායකත්වය ඉල්ලා සිටීම හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය වී තිබේ. මෙම ඉල්ලීමට කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු ඍජුව සිය විරෝධය පළකර ඇති අතර, අනෙක් අමාත්‍යවරු පරාජය වෙද්දී තම ආසනය ජය ගැනීමට හැකි වූ තමන්ට මෙලෙස සලකන්නේ නම් තීරණයක් ගැනීමට සිදුවන බව ඔහු පවසා ඇත.
මේ අතර, මාතලේ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකුද නව කැබිනට් අමාත්‍ය ධුරයන් සම්බන්ධයෙන් සිය විරෝධය නායකත්වයට දන්වා තිබේ. දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන් සිටින තමන් නොසලකා හැරීම ගැන ඔහු සිය අප්‍රසාදය පළකර ඇත.
එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ගේ වෙනස්වීම් යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ධුරය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් ඉවත් කර, එම අමාත්‍යාංශය සාගල රත්නායක මහතා වෙත ලබාදීමට ඊයේ (22දා) සවස සාකච්ඡා වී තිබිණි. එහෙත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊට දැඩි විරෝධය පළකර ඇති අතර, පසුව කබීර් හෂීම් මහතා දැරූ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධුරය ලබාදීමට අගමැතිවරයා යෝජනා කර තිබේ.
හොරු දූෂිතයන් කවුද?
මේ අතර පක්ෂය අතිශය අසීරුවට ලක්වූ අවස්ථාවල දැඩි කැපවීමෙන් ක්‍රියා කළ ජ්‍යෙෂ්ඨ අමාත්යවරයෙකුටද ඉවත් වන ලෙස දන්වා තිබීමෙන් ඔහු දැඩි කම්පාවට පත්ව ඉන් පසුව ලබා ගන්නා ලෙස දැන්වූ අමාත්‍ය ධුරයද ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
එමෙන්ම මැතිවරණයෙන් පසුව ජනාධිපතිවරයා දන්වා සිටියේ, දූෂිත ඇමතිවරුන්ට යළිත් තනතුරු ලබා නොදෙන බවයි. මෙවැනි තත්ත්වයක් යටතේ දූෂිත බවට චෝදනා එල්ල වූ අයගේ අමාත්‍ය ධුර මාරු වෙද්දී එවැනි කිසිදු චෝදනාවක් නොවූ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ට අමාත්‍ය ධුර නොලැබීමෙන් ඔවුන් දූෂිත යන්යැයි පණිවුඩයක් සමාජගත විය හැකි බවටද මතයක් නිර්මාණය වෙමින් පවතී. මෙය වරදක් නොකළ ජ්‍යෙෂ්ඨයන් අමාරුවේ දැමීමක් බවද එම ඇමතිවරුන්ට සමීප ආරංචිමාර්ග සඳහන් කරයි. එසේම මෙම ජ්‍යෙෂ්ඨයන්ට අසාධාරණයක් සිදුවන්නේ යැයි මන්ත්‍රීවරු කිහිප දෙනෙකුම කලකිරීමෙන් කතා කරන බවද වාර්තා වෙයි.
පසු පෙළ මන්ත්‍රීන්ට නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමති ධුර?
ජාතික රජය යටතේ කැබිනට් නොවන නියෝජ්‍ය අමාත්‍ය ධුර 45ක් පවත්වාගෙන යෑමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉඩ සැලසේ. ඒ අනුව පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාවද මෙහිදී සම්පූර්ණ කිරීමට අවධානය යොමුව තිබේ.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වී ඇත්තේ නවකයන් අතරින් දක්ෂයන් ඉදිරියට ගත යුතු බවයි. පසු පෙළ මන්ත්‍රීවරුන්ගෙන් මෙම පුරප්පාඩු පිරවීම සුදුසු යැයි පක්ෂයේ උපදේශකයන් අගමැතිවරයාට දන්වා තිබේ. එහිදී දක්ෂ සහ නිර්මාණශීලී මෙන්ම අනාගතයේ පක්ෂය ඉදිරියට ගෙන යෑමට හැකි අය තෝරා ගන්නා ලෙසද, ආසන්න මැතිවරණයේදී තමන්ගේ හැකියාව පෙන්වූ නවකයන්ට වැඩි අවධානයක් යොමු කරන ලෙසද යෝජනා වී තිබේ. එසේ නොවුවහොත් පක්ෂයේ ජයග්‍රහණයට සහ ස්ථාවරත්වයට කැපවී ක්‍රියා කළ නවකයන් අධෛර්යයට පත්වනු ඇතැයිද පක්ෂ නායකත්වයට දන්වා ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී.ල.නි.ප.ය
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන්ද අමාත්‍ය ධුර කිහිපයක වෙනසක් සිදුවනු ඇති බවත්, තීරණාත්මක අමාත්‍යාංශ කිහිපයක බලයට ශ්‍රීලනිප අමාත්‍යවරු පත්කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ. මේ අතර පාඨලී චම්පික රණවක, සජිත් ප්‍රේමදාස, වජිර අබේවර්ධන යන අමාත්‍යවරුන්ගේ අමාත්‍ය ධුර වෙනස් නොවන බවද වාර්තා වේ. එමෙන්ම රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ විෂයයන් කිහිපයක්ම වෙනස් වනු ඇතැයිද, නියෝජ්‍ය ඇමතිවරු කිහිපදෙනෙකුට කැබිනට් අමාත්‍ය ධුර ලැබීමටද ඉඩ ඇතැයිද වාර්තා වේ. බෙහෝ දුරට අමාත්‍ය ධුර පිළිබඳ ජනාධිපති හා අගමැති අවසන් එකඟතාව ලද වහාම අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දීම සිදුකිරීමට නියමිතය.