වසා දමා ඇති කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට පැමිණි විදේශ ආයෝජකයාගෙන් අමාත්‍යාංශ දෙකක නිලධාරීන් විසින් රුපියල් කෝටි ගණනක කොමිස් මුදලක් ලබාගැනීමට සැලසුම් කිරීමත් සමග එම ආයෝජකයා ආයෝජනය අත්හැර දැමීමේ තත්ත්වයකට පත්ව සිටින බව වාර්තා වේ.
රුපියල් මිලියන 15,000 ක මූලික ආයෝජනයක් සිදුකර රටට වර්ෂයකට සීනි මෙට්‍රික් ටොන් 80,000 ක් ලබාදීමට බ්‍රිතාන්‍ය ආයොජකයෙකු 2015 වසරේ ජනවාරි මාසයේදී රජය සමග ගිවිසුම්ගත වී සිටියි.
මෙම ගිවිසුමට අනුව අදාළ ආයෝජකයාට කර්මාන්ත ශාලාව ඉදිකිරීමට හා උක් පැළ තවාන් කිරීම සඳහා ඉඩම් අක්කර 500 ක් ලබාදිය යුතුව තිබේ. එහෙත් ඒ සඳහා යම් කොමිස් මුදලක් ලබාගැනීමේ අරමුණින් අමාත්‍යාංශ නිලධාරීන් දෙදෙනෙකු විසින් අදාළ ඉඩම පවරාදීම වැළැක්වීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
මෙම ආයෝජනය හරහා දේශීය රැකියා 2500 ක් ලබාදීමට හා උක් වගාකරුවන් 10,000 - 15,000 ක් අධික ප්‍රමාණයකින් උක් මිලදීගැනීමටද මූලික සැලැස්ම හරහා ගිවිසුම්ගත වී තිබේ.
මේ යටතේ මෙම ආයෝජනය මේ වනවිට රුපියල් ලක්ෂ 75කට අධික මුදලක් වියදම් කර තිබෙන බවට වාර්තා වන අතර, මීට අමතරව ආයෝජනය මෙරටට ගෙනඒම සඳහා සම්බන්ධීකරණය කළ පුද්ගලයන්ට ආයෝජකයා විසින් මේ වනවිට රුපියල් ලක්ෂ 400කට අධික මුදලක් වැයකර ඇතැයි වාර්තා වන අතර, එහෙත් එම මුදල තනි පුද්ගලයෙකු සතු කරගැනීම නිසා කොමිස් මුදල් බලාපොරොත්තු වූ පිරිසට කිසිදු මුදලක් ලැබී නොමැති බවද වාර්තා වේ.
1956 වසරේ ආරම්භ කළ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව 1980 වසරේදී අඩපණ වී තිබෙන අතර, මේ නිසා ආයෝජකයාට නව කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට සිදුව තිබේ. මීට අමතරව හොඳ උක් අස්වැන්නක් ලබාගැනීම සඳහා හොඳ පැළ ලබාදීමටද සිදුව තිබේ. සිදුකිරීමට නියමිත ආයෝජනය තුළ රජයට 51%ක කොටස් හිමිව තිබෙන අතර, 49%ක කොටස් බ්‍රිතාන්‍ය ආයෝජකයාට හිමිව තිබේ.