කනගාටුවක් නෑ, ඊට වඩා තද වචන තිබුණා නම් ඒවාත් පාවිච්චි කරනවා - පා.ම. වාසුදේව නානායක්කාර
පාර්ලිමේන්තුව තුළදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව සිදුකළ වචන භාවිතය සම්බන්ධව තමන් කනගාටු නොවන බවත්, ඊටත් වඩා තද වචන තිබුණේ නම් ඒවාද පාවිච්චි කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍යවරයා නොව දෙවියන් වහන්සේ වුවද පාර්ලිමේන්තුවේ රීති, සම්ප්‍රදායන්ට ගරු කළ යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඊට පසුවද අග්‍රාමාත්‍යවරයා තමන්ට මුණගැසුණු අවස්ථාවලදී තමන් ඔහු සමග කතා නොකළ බව පැවසූ නානායක්කාර මහතා, අවශ්‍යතාවක් වුවහොත් රාජකාරි කටයුත්තකදී රනිල් වික්‍රමසිංහ මහතාට කතා කරන බව පවසා සිටියේය.
"පාර්ලිමේන්තුවෙ සාමාන්‍යයෙන් එවැනි දේවල් වෙනවා. කේන්තියෙන්, ආවේගයෙන් ඉතාමත් ප්‍රබල කෝපයකින් ඒ අවස්ථාවේදී කතා කළේ. කිසිකලෙක ඒ ප්‍රකාශය ගැන කනගාටුවෙන්නෙ නෑ. මම දරන මතය නම් පාර්ලිමේන්තුව ඇතුළේ ඇති වන හදිසි වචන හුවමාරුවලදී එහෙම දේවල් වෙනවා. වෙලා තියෙනවා. ඒ අවස්ථාවේදී මම කිව්වෙ පරුෂ වචන නෙමේ, හැම වචනයක්ම ඔහුට පහර ගැසීමට කළ යුතු තදබල වචනයි මම පාවිච්චි කළේ. ඊටත් වඩා තද වචන තිබුණා නම් ඒවත් පාවිච්චි කරනවා. ඒ විදියට ඒ මිනිසා හැසිරුණේ. මටයි තිබුණේ අයිතිය කතා කරන්න.
කථානායකතුමා මටයි අවසර දුන්නෙ රීති ප්රශ්නය මතු කරන්න. එයාගේ (අගමැතිවරයාගේ) බලහත්කාරකමෙන් මාව වාඩි කරන්න හැදුවා. ඒවගේ එයාට කියන්න වචන නැහැනේ. ඒ පැත්ත ගැන කතා කරන්න, මගේ පැත්ත විතරක් නෙමේ. අග්‍රාමාත්‍යවරයා නෙමේ දෙවියන් වහන්සේ වුණත් පාර්ලිමේන්තුවේ රීතිවලට, සම්ප්‍රදායන්ට අනුව ඕන වැඩ කරන්න ඕන. එයා අලි ඔළුවෙන්නේ වැඩ කරන්න හදන්නේ. කීපාරක් නම් මන්ත්‍රීවරුන්ට ඒක කළාද? මම බලාගෙන ඉඳලයි අන්තිමට එහෙම කතා කළේ. ඊට පස්සෙ අගමැතිවරයා මට මුණගැහුණා. අපි එකිනෙකා සමග සුහදව කතා කරන්නෙ නෑනේ. අවශ්‍ය වුණොත් රාජකාරි කටයුත්තකට කතා කරනවා" යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
අනුමත කරන්නත් බෑ, ප්‍රතික්ෂේප කරන්නත් බෑ - පිවිතුරු හෙල උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිල
මට ඒක අනුමත කරන්න බෑ. මගේ ප්‍රතිපත්ති අනුව ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ මනුස්සයා මාත් එක්ක ඉන්න සටන් සගයෙක් නිසා.
වාසුදේවගේ සාමාන්‍ය මානසිකත්වය වෙනස් වුණා - විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න
පාර්ලිමේන්තුවෙ අගමැතිවරයෙක් ඔහොම හැසිරෙන්නෙ නෑ. විවිධ නම් කිය කියා, රැවුල වවලා, වට්ටක්කා ගෙඩිය වගේ දේවල් කියන්නෙ නෑනේ. ඒකට ප්‍රතිඋත්තරයක් දෙද්දි වාසුදේව මන්ත්‍රීතුමාගෙ සාමාන්‍ය මානසිකත්වය වෙනස් වුණා. දැන් කාලේ ඉවරයි, වාඩිවෙනවා, රැවුල කපලා නෑ වගේ වචන පාර්ලිමේන්තුවෙ අගමැතිවරයෙක් මන්ත්‍රීවරයෙකුට කියන්නෙ නැහැනේ. වාසුදේව මන්ත්‍රීතුමා ප්‍ර‘කෝප කිරීමක් එතන තිබුණේ. පාර්ලිමේන්තුව ඇතුළත දෙදෙනාගේම හැසිරීම හොඳ නෑ. විශේෂයෙන්ම අගමැතිතුමාගෙ හැසිරීම හොඳ නෑ. එයා තමයි ඒක පටන් ගත්තෙ. ඉන්පසු අදාළ කරුණු නොකියනවාට තමයි වාසුදේව මන්ත්‍රීතුමා නැගිට්ටෙ. ඊට පස්සෙ වාඩිවෙනවා කියන්න අගමැතිතුමාට අයිතියක් නැහැ. ඒක කියන්න ඕන කථානායකතුමා*
එයාගේ රැවුලත් බාලා, තට්ටෙත් බාන්න ඕනෑ - සමාජ සේවා හා සුභසාධන අමාත්‍ය පී. හැරිසන්
එයාගේ රැවුලත් බාලා, තට්ටෙත් බාන්න ඕනෑ. වාසුදේව නානායක්කාර කියන්නේ පළපුරුදු දේශපාලඥයෙක් කියලයි අපි මෙච්චර කල් හිතාගෙන හිටිය. හැබැයි එදා පාර්ලිමේන්තුවේදී හැසිරුණු ආකාරයෙන් අපිට පේනවා එතුමාගේ යම් ආබාධයක් තියෙනවා කියලා, පිටට නොපෙනුණාට එතුමාට ආබාධයක් තියෙනවා කියලා රටේම ජනතාවත් දන්නවා. සමහරුන්ට වයෝවෘද්ධ වෙද්දි යම් යම් හානි සිද්ධවෙනවා. මේ වගේ ආබාධයක් තියෙන පුද්ගලයෙක් මැතිවරණයට, ඊළඟ ඡන්දයට සහ වේදිකාවට නුසුදුස්සෙක් කියලා අපිට පේනවා. ඒ ගැන අපි කනගාටු වෙනවා. පාර්ලිමේන්තුවක් වගේ බොහොම උත්තරීතර තැනක ළමයින් දෙතුන් දාහක් ඉද්දි එතුමාගේ හැසිරීම අපි පක්ෂයක් විදියට පිළිකුළෙන් හෙළා දකිනවා.
එක පැත්තකට පමණක් මෙම ප්රශ්නයේදී චෝදනා කිරීම සාධාරණ නෑ - පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස්
මේ ගැන සාධාරණව කල්පනා කරනවා නම් එතන වාසුදේව මැතිතුමා රීති ප්‍රශ්නයක් මතු කරන්න නැගිට්ටා. ඒකට පාර්ලිමේන්තුවෙ ස්ථාවර නියෝග අනුව එතුමාට සම්පූර්ණ අයිතිය තියෙනවා. අගමැතිතුමා බොහොම පරුෂ විදියට වාසුදේව නානායක්කාර මැතිතුමාට වාඩිවෙන්න නියෝග කළා. එහෙම කරන්න එතුමාට අයිතියක් නෑ. අගමැතිතුමා මෙහෙම කරපු ප්‍රථම වතාව නෙමෙයි මේක. අගමැතිතුමා පාර්ලිමේන්තුවෙ හැසිරෙන ආකාරය තනතුරට ගැළපෙන්නෙ නෑ. ඒකෙන් වාසුදේව මැතිතුමා කිපුණා. එතන බහින්බස්වීමක් වුණා. වචන පරිහරණය ගැන ස්ථාවර නියෝගවල තියෙනවා. එක පැත්තකට පමණක් මෙම ප්රශ්නයේදී චෝදනා කිරීම සාධාරණ නෑ.
මීට කලින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය විවාදයට භාජනය වූ අවස්ථාවේදී මුස්ලිම් මන්ත්‍රීවරයෙක් කිව්වා දමිළ භාෂාවෙන් සංශෝධනය ලැබිලා නෑ කියලා. එතනදී අගමැතිතුමා කෑ ගහලා කිව්වා ඔයා එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලින් පත්වුණු කෙනෙක් වාඩිවෙන්න කියලා. 'ෂටප් ඇන්ඩ් සිට්ඩවුන්' කටවහගෙන වාඩිවෙන්න කිව්වා. අගමැතිවරයාට බෑ කාටවත් වාඩිවෙන්න කියන්න. ඔහුත් මන්ත්‍රීවරයෙක්. මේ දවස්වල කොහොමත් අගමැතිතුමා වෙනස් විදියට හැසිරෙන්නේ.
මම දැක්කේ නෑ,මම බදුල්ලේ ඉන්නේ - විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා
වාසුදේව මන්ත්‍රීතුමා එහෙම ප්‍රකාශයක් කරනවා මම දැක්කෙ නෑ. මම මේ බදුල්ලෙ ඉන්නෙ. මම බලලා කියන්නම්.
කොතනකවත් අසභ්‍ය වචන පාවිච්චි කරන එක නරකයි - පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන
පාර්ලිමේන්තුවෙ විතරක් නෙමේ කොතනකවත් අසභ්‍ය වචන පාවිච්චි කරන එක නරකයි. පාර්ලිමේන්තුවෙ ගෞරවය රැකීම කාගේත් වගකීමක් වෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවෙ ගෞරවයට හානිවන විදියේ වචන භාවිත කළා නම් ඒක ඉතාමත් අශෝභන තත්ත්වයක්. පාර්ලිමේන්තුවෙ කාගේත් ගෞරවය රැකෙන විධියට මන්ත්‍රීවරුන් සියලුදෙනාම කටයුතු කළ යුතුයි. ඒ ගැන වාදයක් නෑ.
සාමාන්‍යයෙන් රීති ප්‍රශ්නයක් මතුකළාම අනිත් සියලුදෙනාම ඉඳගන්න සම්ප්රදායක් තියෙන්නෙ. රීති ප්‍රශ්නයක් මන්ත්‍රීවරයෙකුට ඕනම වෙලාවක අහන්න පුළුවන්. අනිත් අය ඒකට ඉඩදෙන්න ඕන. ඒක රීති ප්‍රශ්නයක්ද නැද්ද කියලා තීරණය කරන්නේ කථානායකතුමායි. ඒකට බාධා කරනවා නම් ඒක පරිණත දේශපාලඥයෙකුගෙන් නොවිය යුතු දෙයක්. එහෙම නොවුණාම තමයි ඔය අනවශ්‍ය ගැටුම් ඇති වෙන්නේ.