ඔස්ට්‍රේලියාවේ විශාලතම කිරිගව අපනයනකරුවෙකු වන වෙලාර්ඩ් රූරල් එක්ස්පෝර්ට්ස් පෞද්ගලික සමාගම සහ ශ්‍රී ලංකාවේ පශුසම්පත් සංවර්ධන මණ්ඩලය අතර ඇති කරගෙන ඇති එකඟතාවක දෙවැනි අදියර යටතේ කිරි ගවයන් 2,500ක් මෙරටට සැපයීමට එම සමාගම කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලය පවසයි.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ දකුණුදිග රිදියගම කිරි ගොවිපොළ වෙත ලබා දෙන මෙම ගවයින් තොගයේ වටිනාකම ඇ.ඩො.මිලියන 21ක් බවද තානාපති කාර්යාලය පෙන්වා දෙයි.
එසේම මෙරට තුළ විශාල පරිමාණයේ කිරිගව ගොවිපොළක් ඇති කිරීම සඳහා නව යටිතල පහසුකම් සැපයීමටත් එම සමාගම සිය කැමැත්ත පළ කර ඇති අතර, ඔස්ට්‍රේලියාවේ කෘෂිකාර්මික සම්පත් සහ විශේෂඥතා ආයතනය සමගින් සම්බන්ධවී සිදුකරන මෙම ව්‍යාපෘතිය හරහා නැවුම් කිරි සැපයීමේ ශ්‍රී ලංකා රජයේ අරමුණ වෙත දායකවීම බලපොරොත්තුව බවද පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ කොමිසම වන ඔස්ට්රේඩ් හි මූලිකත්වයෙන් 2008 වසරේදී ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියක් යටතේ මෙම වෙලාර්ඩ් රූරල් එක්ස්පෝර්ට්ස් සමාගම සහ ශ්‍රී ලංකා පශු සම්පත් සංවර්ධන මණ්ඩලය කිරිගවයින් සැපයීම සම්බන්ධ ගිවිසුමකට අත්සන් තබා තිබේ. ඒ යටතේ ප්‍රථම අදියර ලෙස ඔවුන් විසින් ශ්‍රී ලංකාවේ බෝපතලාව පිහිටි ගොවිපොළ තුනක් වෙත කිරිගවයන් 2,000ක් සැපයීම සිදුකරන ලදී. එහි දෙවැනි අදියර යටතේ එම සමාගම මෙම ගවයින් තොගය සැපයීමට පියවර ගෙන තිබේ. එසේම එම ගොවිපොළට අදාළ යටිතල පහසුකම් සංවර්ධනයත් එම සමාගම මගින් සිදු කෙරේ.
ඒ අනුව, සිය කටයුතු සම්බන්ධයෙන් හවුල්කාර සමාගම් දැනුම්වත් කිරීමේ හමුවක් පසුගිය මැයි 20 වැනිදා සංවිධානය කිරීමට ඔස්ට්රේඩ් ආයතනය කටයුතු කර ඇති අතර, එහිදී තවදුරටත් සිය හවුල්කරුවන්ගේ සහාය මේ සඳහා අවශ්‍ය බව පවසා සිටි එම ආයතනය, ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ කිරි ගොවීන් එකිනෙකා සම්බන්ධ කිරීමේ වැදගත්කමද පෙන්වා දී තිබේ. මෙම අවස්ථාව සඳහා ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් රොබින් මූඩි, ශ්‍රී ලංකා පශුසම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්.ඒ.ඩබ්ලිව් සිරිල් සහ වෙලාර්ඩ් රූරල් එක්ස්පෝර්ස් සමාගමේ උපදේශක සහ ජාත්‍යන්තර ව්‍යාපෘති කළමනාකාර ජොහාන් වස්සෙර්මාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වී තිබුණි.
භානුක අමරසිංහ