බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් රඳවා තබන කඳවුරක හටගත් ගැටුමක් හේතුවෙන් එක් අයෙකු මියගොස් 77 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
පැපුවා නිව් ගිනියාවේ (PNG) මැනුස් කඳවුරේ දින කිහිපයක් පුරා පැවති උද්ඝෝෂණවලින් පසුව සරණාගතයන් පිරිසක් පසුගිය ඉරිදා කඳවුරෙන් පලායෑමෙන් පසු ගැටුම් උද්ගතවූ බවත්, එසේ පළා ගිය අය අතුරින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙයි.
මැනුස් කඳවුරේ සංක්‍රමණිකයන් 1,300ක් පමණ සිටින අතර, එහි ශ්‍රී ලාංකිකයන්ද සිටී.
මෙම සිදුවීම එරට ආගමන විගමන කටයුතු අමාත්‍යංශය කෝලාහලයක් ලෙස හැඳින්වුවත්, සංක්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පවසන්නේ අනාගතය පිළිබඳ පැහැදිලි පිළිතුරක් නොලද, එහි රැඳවූවන්ගේ විරෝධතාවක් ලෙස එය හැඳින්විය හැකි බවයි.
තත්ත්වය පාලනය කිරීමට කඳවුරේ ආරක්ෂක භටයන් අවි ආයුධ යොදා නොගත් බව ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ කටයුතු භාර ඔස්ට්‍රේලියානු අමාත්‍ය ස්කොට් මොරිසන් පවසන තොරතුරු ප්‍රතික්ෂේප කරන දේශපාලන රැකවල් පතන්නන් සඳහා වන ක්‍රියාකාරී කමිටුවේ සම්බන්ධීකාරක ඉයන් රින්ටූල් පවසා ඇත්තේ, කිහිප දෙනකුගේ අත් කඩා දමා ඇති බව වාර්තා වන බවයි. බැටන් පොලු හෝ ගල් ප්‍රහාර ඊට හේතුවන්නට ඇති බව හෙතෙම පවසයි. එහිදී තුවාල ලැබූවෙකුගේ හිසෙහි මැහුම් 70ක් පමණ දැමූ කැපුම් තුවාල ඇති බවත්, තවත් අයගේ තුවාල පිහි පහරවලින් ඇතිවූ තුවාල මෙන් යැයිද ඔහු පෙන්වා දෙයි.
මේ අතර, එම හිංසනයේ සැබෑ තතු සැඟවීම සඳහා තුවාල ලද ඇතැමුන් රෝහලින් ඉවත් කොටතබා ඇති බවද කමිටු සම්බන්ධීකාරක ඉයන් රින්ටූල් චෝදනා කරයි.
මෙම මස මුලදී රැඳවූවන් විසින් ඉදිරිපත් කරනලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා බලධාරීන් පසුගිය ඉරිදා කඳවුර වෙත පැමිණි විට එහි පැවති උණුසුම් තත්ත්වය කෝලාහලයක් දක්වා වර්ධනය වූ බව ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ කටයුතු භාර අමාත්‍ය ස්කොට් මොරිසන් මාධ්‍ය අමතමින් පැවසීය.
එම කඳවුරේ සිටින පුද්ගලයන්ට පැපුවා නිව් ගිනියාවේ වාසය කිරීමේ අවසර ලබා නොදෙන බවට සාකච්ඡාවේදී උපදෙස් ලබා නොදුන් බවත්, දේශපාලන රැකවරණ ලබන අයට කඳවුරේ වාසයට අවසර ලැබෙන බව එම රැස්වීමේදී PNG සංක්‍රමණ හා පුරවැසි කටයුතු අමාත්‍යංශය රැඳවියන්ට දැනුම් දුන් බවත් අමාත්‍යවරයා පවසා තිබේ.
එනමුදු, වෙනත් රටකට යාමට ඔස්ට්‍රේලියා හෝ පැපුවා නිව් ගිනියා රජය රැඳවූවන්ට සහාය නොදෙන වග සාකච්ඡාවට ගිය සංක්‍රමණ නිලධාරී ෆ්රෙඩ්රික් කෙන්ගාලි තහවුරු කළේ යැයිද අමාත්‍ය ස්කොට් මොරිසන් පෙන්වා දී තිබේ.
ඒ අනුව, බලධාරීන්ගේ ප්‍රකාශයෙන් අසහනයට පත් රැඳවූවන් විරෝධතාව උත්සන්න කළ බව, ඔස්ට්‍රේලියාවේ දේශපාලන රැකවල් පතන්නන් සඳහා වන ක්‍රියාකාරී කමිටුව පවසයි.
ඔස්ට්‍රේලියාවේත්, පැපුවා නිව් ගිනියාවේත් සංක්‍රමණ කටයුතු භාර දෙපාර්තමේන්තු විසින් මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව අමාත්‍ය ස්කොට් මොරිසන් පවසා ඇතැයි බී.බී.සී.ය. පෙන්වා දෙයි.