එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සම්මත කළ යෝජනාව ආණ්ඩුව ලැබූ ජයග්‍රහණයක් ලෙස හැඳින්වුවත් ආණ්ඩුව කියනා ආකාරයට අප රටට ඒ තුළින් ජයග්‍රහණයක් හිමි වී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
රටේ ප්‍රශ්නයක් වූ මානව හිමිකම් පිළිබඳ ප්රශ්නය ජාත්‍යන්තරයේදී කතාබහට ලක්වී පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් වීමෙන් රටට හානියක් සිදුවූ බවත්, මේ නිසා සම්මත වූ යෝජනාව පිටුපස අනතුරක් තිබෙන බවත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
ඊයේ (04දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ මානව හිමිකම් කඩවීම නිසා වින්දිතයින් බවට පත්වූවන්ට සාධාරණයක් ඉටුකළ යුතු බවත්, රනිල් වික්‍රමසිංහ සමග හෝ මෛත්‍රීපාල සිරිසේන සමග ඇමරිකාව යාළුයි කියා යාළුකම්වලින් මෙම ප්රශ්නය විසඳිය නොහැකි බවත්ය.
කඩවුණු මානව හිමිකම් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට අපේ රටේ ආයතන පද්ධතිය හොඳටම ප්‍රමාණවත් බවත්, සිදුකළ යුත්තේ අධිකරණය ස්වාධීන ආයතනයක් බවට පත්කර ශක්තිමත් දේශීය පරීක්ෂණයක් සිදුකිරීම යැයිද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.
උතුරේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට තවමත් විසඳුම් ලබා දී නොමැති බවත් දින 100 ආණ්ඩු කාලයේදී හෝ වර්තමාන ආණ්ඩුව තවමත් ජනතා ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන බවක් පෙනෙන්නට නොමැති බවත් ටිල්වින් සිල්වා මහතා පවසා සිටියේය.
මේ නිසා ඉදිරිපත් වී තිබෙනා යෝජනාව පිටුපස තිබෙන අනතුර හඳුනාගෙන ආණ්ඩුව ගේම නොගසා සත්‍යවාදීව කටයුතු කළයුතු බවද හෙතෙම සඳහන් කළේය.