උතුරු නැගෙනහිර නැවත පදිංචි කරවීමේදී දෙමළ ජනයාට මෙන්ම මුස්ලිම් ජනයාටද සාධාරණත්වයක් ඉටුවිය යුතු බවට ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය අවධාරණය කරයි.
'අද' වෙත අදහස් දක්වමින් එහි භාණ්ඩාගාරික එම්.එස්.එම්. අස්ලිම් මහතා පවසා සිටියේ මේ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් දෙමළ ජාතික සන්ධානයේ හා ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ නායකයන්ගේ ප්රධානත්වයෙන් පසුගියදා (30දා) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති බවයි.
උතුරු නැගෙනහිර නැවත පදිංචි වීම් සම්බන්ධයෙන් දෙමළ හා මුස්ලිම් දෙපාර්ශ්වයේම ජනයාට සමාන සාධාරණත්වයක් ලබාගැනීම සඳහා වූ සාකච්ඡා වාර කිහිපයක් වරින් වර පැවැත්වූ අතර, මෙවරද ඒ සම්බන්ධයෙන් සාර්ථකත්වයක් අත්කර ගැනීමට හැකියාවක් ලැබී නොමැති බව ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව, එළඹෙන ජනවාරි 04 වැනිදාද ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය හා දෙමළ ජාතික සන්ධානය අතර නැවත හමුවක් පැවැත්වීමට නියමිත බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.