බටහිර අප්‍රිකාවෙන් පිටත ඉබෝලා වෛරසය පැතිරීම වාර්තා වූ ප්‍රථම සිදුවීම ලෙස ස්පාඤ්ඤ ජාතික හෙදියගේ අනන්‍යතාව අද (08දා) මාධ්‍යයට හෙළි කර ඇති අතර, ඇය තෙරේසා රොමේරේ ලෙස හඳුන්වා තිබුණි.
ඉබෝලා වෛරසය වැළඳී ස්පාඤ්ඤයට රැගෙන විත් ප්‍රතිකාර කළ පූජකවරුන් දෙදෙනාට සත්කාර කළ හෙදියක් ලෙස ඇය හඳුනාගෙන තිබේ.
ඒ අනුව, මෙම හෙදියගේ ස්වාමි පුරුෂයා ඇතුළු තවත් පුද්ගලයන් දෙදෙනෙකුටද රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව එරටින් වාර්තා වන අතර, ඔවුන්ගේ සුනඛයාටද වෛරසය ඇතුළු වී ඇති බවට සැක කිරීම තුළ යම් අර්බුදකාරී තත්ත්වයක් ස්පාඤ්ඤය තුළ හටගෙන තිබේ.
එහිදී, මෙම සුනඛයා මරාදැමිය යුතු බවට එරට සෞඛ්‍ය අංශ පවසද්දී, සුනඛයා ආරක්ෂා කරගත යුතු බවට සත්ව සංවිධාන එකහෙළාම කියා සිටියි.
ඒ අනුව, ඔවුන් අන්තර්ජාලය හරහා පෙත්සමක්ද අත්සන් කර ඇති අතර, ඒ වෙනුවෙන් දහස් ගණන් පිරිස් අත්සන් තබා ඇති බවද වාර්තා වෙයි.
නමුත්, බලධාරීන් පවසන්නේ සුනඛයා හේතුවෙන් ස්පාඤ්ඤයට දැඩි අනතුරක් සිදුවිය හැකි බවයි. නමුත්, මිනිසුන්ට සේම සුනඛයාටත් ප්‍රතිකාර කළ යුතු බවත්, අහිංසක සත්වයෙකු නිකරුණේ මරාදැමීම මිනිස්කමට නිගාවක් බවත් සත්ව සංවිධාන අවධාරණය කරයි.