විරුද්ධ පක්ෂය දුර්වල කිරීමට ආණ්ඩුව ජාතිවාදී ගැටුමක් නිර්මාණය කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (17දා) පැවසීය.
බත්තරමුල්ල ජයන්තිපුර පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා,
"මේ ආණ්ඩුවට දවසින් දවස මහජන අප්‍රසාදය වැඩිවෙනකොට විරුද්ධ පක්ෂය දුර්වල කරන්න එක එක තුරුම්පු ඇද්දත් ඒවායින් ප්‍රතිඵල නොලැබෙනකොට කලු ජූලිය ඇතිකෙරුවා වගේ ජාතිවාදී ගැටුමක් ඇති කරන්න සූදානම් වෙනවා. එදා යූඑන්පී ආණ්ඩුව කලු ජූලිය හදලා සිංහල දෙමළ බේදයක් හදලා ඒකේ වගකීම විරුද්ධ පක්ෂයේ වෙනත් දේශපාලන පකෂ වලට පටවලා ඒ පක්ෂ තහනම් කරලා මර්දනය කර තමන්ට විරුද්ධව නැගී එන ජනතා විරෝධය ලේවලින් මර්දනය කිරීමට එදා යූඑන්පී ආණ්ඩුව කටයුතු කළා.ඒ පරණ තුරුම්පුවම නැවත අදින්න මේ ආණ්ඩුව ඇතුළේ සූදානමක් තියෙනවා කියන අනතුරු ඇඟවීම අපි කරනවා. සමහරවිට මෙය සිංහල මුස්ලිම් ගැටුමක් වෙන්න පුලුවන් "
බත්තරමුල්ල -ජයන්තිපුර පිහිටි කාර්යාලයේ පැවැත්වූ අවසන් මාධ්‍ය සාකච්ඡාව මෙය බවත් පිටකෝට්ටේ සිරිකොත අසල පිහිටි නව පක්ෂ කාර්යාලයට මේ මස 21 වැනිදා යන බවත් වීරවංශ මහතා මෙහිදී පවසා සිටියේය.