පුද්ගලයන් 29 දෙනෙකු සමග බෙංගාල බොක්ක ආශ්‍රිතව අතුරුදන් වූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 32 යානය සොයා සිදුකරන මෙහෙයුම් ඉහළ දැමූ බව එරට ආරක්ෂක අංශ පවසයි.
සිකුරාදා උදය කාලයේදී මෙම යානය ගුවන්ගත වී කෙටි වේලාවකින් එය රේඩාර් තිරයෙන් අතුරුදන් වී තිබුණි.
ඒ අනුව, මේ වනවිට එරට නාවික හමුදාවට හා වෙරළාරක්ෂක බලකායට අයත් නෞකා 12ක් සෝදිසි මෙහෙයුම් සඳහා යොදවා ඇති අතර, මීට අමතරව එරටට අයත් සබ්මැරීනයක්ද සෝදිසි මෙහෙයුම් සඳහා යොමුකර තිබේ.
කාර්ය මණ්ඩලයේ හය දෙනෙක් මෙන්ම, සිවිල් පුද්ගලයන් 8 දෙනෙකු හා හමුදා සාමාජිකයන් ඇතුළු 29 දෙනෙකු එය අනතුරට පත්වන අවස්ථාවේදී එහි ගමන් කරමින් සිට ඇති බවද කියැවෙයි.
එමෙන්ම, යානය අතුරුදන් වන අවස්ථාවේදී එය අඩි 23,000ක සිට ක්ෂණිකව පහතට වැටී ඇති බවද සටහන් වී තිබේ.
අන්දමන් හා නිකෝබා දූපත් වෙත ගමන් කළ ගුවන් හමුදා සාමාජිකයන් 11 දෙනෙක්, නාවික හමුදා සාමාජිකයෙක් සහ යුද හමුදා සාමාජිකයන් දෙදෙනෙක් එහි ගමන් කර ඇති ආරක්ෂක අංශ පිරිසයි.
චෙන්නායි තම්බරාම් ගුවන් තොටුපොළින් උදෑසන 8.30 පිටත් වූ යානය පෙ.ව. 11.45 ට ගොඩබෑමට නියමිතව තිබුණත්, උදෑසන 9.12 ට යානය රේඩාර් තිරයෙන් අතුරුදන්ව ඇත්තේ චෙන්නායි නගරයට නැගෙනහිරින් කිලෝමීටර් 280ක් ඔබ්බෙනි.
මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍ය මනෝහර් පරික්කාර් පවසා සිටියේ ගුවන් යානය හෝ එහි ගමන්ගත් පිරිස පිළිබඳ කිසියම් හෝ සලකුණක් සොයාගැනීම සඳහා හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවය.
යානයෙන් නිකුත් වූ අවසන් නිවේදනය එය ගුවන්ගත වී විනාඩි 16කින් ලැබී ඇති අතර, එහිදී නියමුවා පවසා ඇත්තේ සියල්ල සාමාන්‍යයි යනුවෙනි.
ඉන්දීය ගුවන් හමුදාව සතුව රුසියාවේ නිෂ්පාදිත ඇන්ටනොව් 32 වර්ගයේ ගුවන් යානා 100කට වඩා වැඩි ප්‍රමාණයක් පවතින අතර, මෙවැනි යානයකට නැවත ඉන්ධන පිරවීමකින් තොරව ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ පැය හතරක පමණ කාලයක් ගමන් කළ හැකිය.